ප්‍රධාන පුවත්

එයාර්බස් නඩුවේ විමර්ශන ප්‍රගතිය දැනුම් දෙන්නැයි අල්ලස් කොමිසමට නියෝග

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන එයාර්බස් නඩුවේ විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් 13 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද (14) මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අදාළ නියෝගය නිකුත් කෙරිණි.

එහිදී අල්ලස් කොමිසම විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ වාර්තාවක් අධිකරණයට භාර දී ඇති අතර, ඉදිරි කටයුතු සඳහා තවත් දිනයක් ලබා දෙන ලෙස නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර, ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා කරුණු දැක්වීමට අවසර ඉල්ලා තිබුණද, ඔහු මේ වන විට නඩුවේ සැකකරුවකු ලෙස නම් කර නොමැති බැවින් එය අවශ්‍ය නොවන බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස නම් කර තිබූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා මියගොස් තිබේ.

නඩුවේ දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණි.

ඒ අනුව පැමිණිල්ල ලබන ඔක්තෝබර් 13 වනදා යළි කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා, එදිනට විමර්ශනවල සවිස්තරාත්මක ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button