ප්‍රධාන පුවත්

2027 මුල් කාර්තුවේ නව ජාතික තරුණ ප්‍රතිපත්තියක්

ජාතික තරුණ ප්‍රතිපත්තිය 2027 වසරේ මුල් කාර්තුව වනවිට අවසන් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මේ වනවිට මුහුණදෙන අභියෝගවලට විසඳුම් ලබාදීම සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂා සපුරාලීම අරමුණු කරගනිමින් මෙම නව ප්‍රතිපත්තිය සකස් කරමින් පවතින බව ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ “තරුණ සංවර්ධනය පිළිබඳ පළමු ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය 2026” අමතමින් අග්‍රාමාත්‍යවරිය අද (16) රත්මලාන ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල ශ්‍රවණාගාරයේදී මේ බව සඳහන් කළාය.

“ස්වශක්තීන් මත පදනම්ව සමාජීය පරිවර්තනයක නියමුවන් ලෙස, අයිතිවාසිකම් උරුම කරගත් තාරුණ්‍යයක්” යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණයේදී ප්‍රධාන ක්ෂේත්‍ර 9ක් ආවරණය කරමින් පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරිය පෙන්වා දී ඇත්තේ 2014 වසරේදී ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතක් සකස් කර තිබුණද එය ක්‍රියාත්මක නොවූ බවය. ඒ අනුව වර්තමාන තාක්ෂණික හා ආර්ථික වෙනස්කම් මෙන්ම රැකියා වෙළෙඳපොළේ සිදුව ඇති වෙනස්කම්ද සැලකිල්ලට ගනිමින් සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් නව ප්‍රතිපත්තිය සකස් කරමින් පවතින බව ඇය සඳහන් කළාය.

රජයේ පොදු ආයෝජන වැඩසටහන යටතේ තරුණ හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 145ක මුදලක් වෙන්කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. එමෙන්ම මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය සඳහා රුපියල් මිලියන 5ක මුදලක් වෙන්කර ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

තාක්ෂණික දියුණුව සහ ඩිජිටල්කරණය වේගයෙන් ඉදිරියට යන පසුබිමක තරුණ පරපුරට අධ්‍යයන දැනුම පමණක් ප්‍රමාණවත් නොවන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ඒ අනුව ප්‍රායෝගික, තාක්ෂණික සහ වෘත්තීය නිපුණතා තරුණයින්ට ලබාදීම සඳහා අධ්‍යාපන විෂය නිර්දේශ නවීකරණය කිරීමේ අවශ්‍යතාවක් පවතින බවද ඇය පෙන්වා දී තිබේ.

මේ අතර, මෙම ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය ලබන වසරේදී ජාත්‍යන්තර සමුළුවක් ලෙස පැවැත්වීමට යෝජනා වී ඇති අතර, එමගින් ශ්‍රී ලාංකේය පර්යේෂකයන්ට කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සබඳතා සඳහා වැඩි අවස්ථා හිමිවනු ඇති බව සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button