
අධිවේගී මාර්ගයේදී සහය වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්වෙයි
අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු සහ හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දක්වමින් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෘජුවම එක්කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතා සඳහන් කළේ, 2026 අප්‍රේල් 17 වනදා සිට මෙම වගකීම ගුවන් හමුදාව වෙත භාරදී ඇති බවයි.
මෙම කාර්යභාරය පෙරදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද අතර, නව ක්‍රමවේදය යටතේ අධිවේගී මාර්ග කිහිපයක මෙහෙයුම් ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ඇත.
ඒ අනුව කටුනායක සිට කොට්ටාව දක්වාත්, කොට්ටාව සිට මත්තල දක්වාත් වූ අධිවේගී මාර්ග කොටස්වල මුදාගැනීමේ කටයුතු ගුවන් හමුදාව විසින් සිදුකරනු ලබන අතර, මීරිගම අධිවේගී මාර්ගයේ මෙහෙයුම් තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරනු ඇත.
තවද ගැලනිගම, සීදුව, කුරුදුගහහැතැක්ම, පින්නදූව සහ සූරියවැව යන ස්ථානවල ගුවන් හමුදා කණ්ඩායම් ස්ථානගත කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.



