ප්‍රධාන පුවත්

ළමා අපරාධ චෝදනා ලැබූවන්ට රාජ්‍ය සේවය තහනම්

ළමා අපරාධ චෝදනා නොමැති බවට සහතික කිරීමේ ක්‍රමවේදයක් රාජ්‍ය සේවයට බඳවා ගන්නා පුද්ගලයින් සඳහා හඳුන්වාදීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

විශේෂයෙන් දරුවන් සමඟ සෘජුව කටයුතු කරන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම සහතිකය ලබාගැනීම අනිවාර්ය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය.

අදාළ සහතිකය පොලීසිය හෝ ඒ සඳහා බලය ඇති අදාළ නිල ආයතන මගින් ලබාගැනීමට නියමිත බවද අමාත්‍යවරිය පැවසුවාය.

එමෙන්ම දැනට රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන්ටද මෙම ක්‍රමවේදය අදාළ කිරීමට නියමිතය. ඒ අනුව ඔවුන්ගේ සේවා කඩඉම් සහ වැටුප් වර්ධක ලබාගැනීමේදී අදාළ කාලසීමාව තුළ ළමා අපරාධ සම්බන්ධයෙන් සම්බන්ධ නොවූ බවට වන සහතිකය යාවත්කාලීන කර ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළාය.

“රාජ්‍ය සේවයට ප්‍රවේශ වෙන, විශේෂයෙන්ම දරුවන්ට ප්‍රවේශය සහිත රැකියාවලට බඳවා ගැනීමේදී ඒ පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධ චෝදනා නොලද පුද්ගලයන් හැටියට තහවුරු කරගැනීම සඳහා සහතික කරවා ගැනීමේ අවශ්‍යතාවය අපි කැබිනට් පත්‍රිකාවක් මගින් තහවුරු කරගැනීමට අපි කටයුතු කරනවා. ඒක අපි ඒකට අදාළ කැබිනට් පත්‍රිකාව යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි බලන්නේ ඒ සහතිකය පොලීසියෙන් හෝ අදාළ ආයතනවලින් අපි ලබාගෙන රාජ්‍ය සේවයට ප්‍රවේශ වන අවස්ථාව වන විට ඔවුන් දරුවන් සම්බන්ධව දරුවන්ට ප්‍රවේශය සහිත රැකියා කරන අය ළමා අපරාධවලට චෝදනා නොලැබූ, නැත්නම් අපරාධකරුවන් ලෙස චෝදනාවක් නොලද අය විය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඒක නිසා ඒ සහතික කරණය අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය තුළ ඉන්න අයත් අඛණ්ඩව ඔවුන්ගේ සේවා කඩයිම්වලදී, ඒ වගේම වැටුප් වර්ධකවලදී ඒ අදාළ කාලපරාසයන් තුළ සහතිකය අලුත් කරගන්න ඕනේ. හේතුව තමයි ඔවුන් ඒ අදාළ කාලපරාසය තුළ ඒ ළමා අපරාධවලට සම්බන්ධ අයවළුන් නෙවෙයි කියන සහතිකය අවශ්‍යයි. ඉතින් මේ වගේ දේවල් අපිට රටක් හැටියට ඉදිරියට යාමේදී අවශ්‍ය වෙනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button