
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමන් කිරීම ගැන ඉරානයේ තීරණය බලා සිටින ඉන්දියාව
මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානය විසින් අවහිර කර ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දීය නෞකාවලට ගමන් කිරීමට අවසර ලබාගැනීම සඳහා ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක දිශාවට ගමන් කරමින් පවතින බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉරානය සමඟ මෙතෙක් පැවැත්වූ සාකච්ඡාවලින් යම් සුබවාදී ප්‍රතිඵල දැනටමත් ලැබී ඇති බවයි. කෙසේ වෙතත් සියලුම ඉන්දීය නෞකා සඳහා තවමත් පොදු අවසරයක් ලබාදී නොමැති අතර, එක් එක් අවස්ථාවන්හිදී පැවැත්වෙන සාකච්ඡා අනුව නෞකාවලට ගමන් කිරීමට අවසර ලබාදෙන බවද ඔහු පැවසීය.
එම සාකච්ඡාවල ප්‍රගතියක් ලෙස ඉන්දීය ධජය යටතේ ධාවනය වන ගෑස් ප්‍රවාහන නෞකා දෙකක් පසුගිය සෙනසුරාදා හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කිරීමට සමත් වූ බව වාර්තා වේ. එසේම තවත් ඉන්දීය නෞකා 22ක් අවසර ලැබෙන තෙක් එම ප්‍රදේශයේ රැඳී සිටින බවද සඳහන් වේ.
පෙබරවාරි 28 වනදා අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් පසු මැදපෙරදිග යුද තත්ත්වය තවත් උග්‍ර වූ අතර, ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම පාහේ වසා දමා තිබේ.
ඉන්දියාවේ බොරතෙල් අවශ්‍යතාවයෙන් සම්මත වශයෙන් 40% සිට 50% දක්වා ප්‍රමාණයක් මෙම නාවික මාර්ගය ඔස්සේ ප්‍රවාහනය වන අතර, වත්මන් තත්ත්වය හේතුවෙන් එරට තුළ ඉවුම් පිහුම් ගෑස් හිඟයක් ද ඇතිව තිබේ. එම හේතුවෙන් ජනතාව අතර ආතතියක් මතුව ඇති අතර, ඇතැම් ආපනශාලා පවා තාවකාලිකව වසා දැමීමට සිදුව ඇති බව වාර්තා වේ.



