
හිරු මුදුන් වීම ඇරඹේ-හෙට දහවල් සිට පරිස්සමෙන්
හිරු මුදුන් වීම හෙට (28) සිට සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් සිදුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සූර්යයා දෘශ්‍ය ලෙස දකුණු දිශාවට ගමන් කිරීමේදී මෙම තත්ත්වය ඇතිවන අතර, හෙට දහවල් 12.11ට කොක්කුවිල්, නල්ලූර්, කොඩිකාමම් සහ නගර් කෝවිල් යන ප්‍රදේශවලට හිරු සෘජුවම මුදුන්ව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හිරු මුදුන් වීම සිදුවන අතර ප්‍රදේශ රැසකට වැසි
මේ අතර, හෙට දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට විටින් විට වැසි ඇතිවිය හැකිය.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ අනාවැකියේ දැක්වේ.
මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ගැන අනතුරු ඇඟවීමක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
ඌව පළාතේ මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද සඳහන් වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පැයට කිලෝමීටර් 50 දක්වා තද සුළං
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් තද සුළං ඇතිවිය හැකිය.
එමෙන්ම ත්‍රිකුණාමලය, මොනරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලද විටින් විට පැයට කිලෝමීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.



