ප්‍රධාන පුවත්

හික්කඩුව–දොඩම්දූව වෙරළේ තෙල් කාන්දුව 99%ක් පිරිසිදු කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි

හික්කඩුව සහ දොඩම්දූව වෙරළ ආශ්‍රිතව වාර්තා වූ තෙල් පැල්ලම් සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් සිදුකළ නිරීක්ෂණවලදී එම පැල්ලම් ඉතා කුඩා ප්‍රමාණයේ බව අනාවරණය වී ඇත.

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා සඳහන් කළේ, එම වෙරළ ප්‍රදේශවලට තෙල් බැරල් 4ක් ගොඩ ගසා තිබූ බවයි.

එම බැරල්වල තිබූ ද්‍රව්‍ය බොහෝවිට ලිහිසි තෙල් වර්ගයක් විය හැකි බවට සැක පළ කරන අතර, වෙරළ තීරයෙන් ලබාගත් තෙල් සාම්පල වැඩිදුර විද්‍යාත්මක පරීක්ෂණ සඳහා ඛනිජ තෙල් සංස්ථාව වෙත යොමු කර ඇති බවද ඔහු පැවසීය.

මෙම තෙල් බැරල් කුමන නෞකාවකින් මුහුදට වැටී ඇතිද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර, අද දිනයේදී හමු වූ එක් බැරලයක් බොහෝ දුරට විනාශයට ලක්ව තිබූ බවද සභාපතිවරයා පැහැදිලි කළේය.

ඒ අනුව වෙරළ තීරයන්හි දැකගත් තෙල් පැල්ලම් එම බැරල්වලින් පැතිරී ඇතිවිය හැකි බවටද අනුමාන කෙරේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ආයතන කිහිපයක් එක්ව වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, මේ වනවිට තෙල් පැල්ලම්වලින් සියයට 99ක පමණ ප්‍රමාණයක් ඉවත් කිරීමට හැකිව තිබේ.

මෙයට අමතරව හික්කඩුව වෙරළට සපත්තුවක් සහ ජීවිත ආරක්ෂක බෝට්ටුවක කොටසක් ද ගොඩ ගසා තිබූ බවද සභාපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම අද දිනයේදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන් ගැඹුරු මුහුදේ නිරීක්ෂණයක්ද සිදුකර ඇති අතර, එහිදී කිසිදු නව තත්ත්වයක් වාර්තා වී නොමැති බව ඔහු පැවසීය.

හික්කඩුව, සීනිගම, දොඩම්දූව, හබරාදූව, හිනිදුම සහ ගාල්ල යන ප්‍රදේශවල වෙරළ තීරයන්ගේ ඡායාරූප නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක්කරමින් පවතින අතර, එම කටයුතු සඳහා ගුවන් හමුදාවේ සහායද ලබාගෙන තිබේ.

මෙම ඡායාරූප පරීක්ෂා කිරීමේදී කිසිදු විශේෂ තත්ත්වයක් හඳුනාගෙන නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.

තෙල් විසිරීමක් පිළිබඳ පළමු වාර්තාව ලැබී ඇත්තේ ඊයේ (07) දිනයේදී වන අතර, මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැය 24 පුරාම අවධානයෙන් පසුවන බවද කියා සිටියේය.

මේ වනවිට කැස්බෑවන්, ඩොල්ෆින් හෝ මත්‍යසයින් වැනි සමුද්‍රීය සත්ත්වයන්ට ආපදා සිදුවූ බවට කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button