
සුරේෂ් සලේ මහතාගේ රැඳවුම පිළිබඳ මවගෙන් ජනපතිට ඉල්ලීමක්
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලා ඔහුගේ මව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ඊයේ (24) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇති එම ලිපියේ සඳහන් කර ඇත්තේ, තම පුතු වසර 37ක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් රට වෙනුවෙන් සිය තරුණ කාලය මෙන්ම පවුල සමඟ ගත කළ හැකි වටිනා කාලයද කැප කළ බවයි.
වයෝවෘද්ධ මවක් ලෙස තම පුතු රැඳවුම් නියෝගයක් යටතේ සිටින ආකාරය දැකීම දැඩි වේදනාවක් බවද ඇය ලිපිය මගින් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, කිසිදු පරීක්ෂණයක් නතර කරන ලෙස තමන් ඉල්ලා නොසිටින බවද ඇය අවධාරණය කර ඇත. චෝදනා පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සාක්ෂි මත සත්‍යය අනාවරණය කරගන්නා ලෙසද ඇය ඉල්ලා තිබේ.
එහෙත් එම විමර්ශන සිදුවන අතරතුර තම පුතුගේ රැඳවුම තවදුරටත් දීර්ඝ නොකරන ලෙස මවක් ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බවද ඇය සඳහන් කර ඇත.
විමර්ශන සාක්ෂි මත පදනම්ව සිදු කළ යුතු අතර, රැඳවුම සාක්ෂි සඳහා ආදේශකයක් නොවිය යුතු බවද සුරේෂ් සලේ මහතාගේ මව සිය ලිපියේ අවධාරණය කර තිබේ.
එමෙන්ම ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙසද ඇය ඉල්ලා ඇති අතර, තමන් අපේක්ෂා කරන්නේ විශේෂ වරප්‍රසාදයක් නොව යුක්තිය, මනුෂ්‍යත්වය සහ සාධාරණ අවස්ථාවක් පමණක් බවද පවසා ඇත.
අවසානයේදී ඇය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තම පුතුට නිදහසේ නීතිය ඉදිරියේ පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.





