අධ්‍යාපන

ගුණාත්මක අධ්‍යාපනය රජයේ ප්‍රමුඛ ඉලක්කය –අගමැතිනිය අවධාරණය කරයි

දරුවන්ට විධිමත් සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වත්මන් රජයේ මූලික ප්‍රමුඛතාවයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

අද (12) හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැති අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

සංචාරය අතරතුර බෙලිඅත්ත රුහුණු විජයබා ජාතික පාසල සහ එහි ප්‍රාථමික අංශය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, 2026 වසරේ පළමු වසර සිසුන් සඳහා හඳුන්වා දී ඇති නව වැඩපොත්, සංශෝධිත මූලික විෂයමාලා ක්‍රියාත්මක වීම සහ පන්ති කාමර ඉගැන්වීම් ක්‍රමවේද පිළිබඳව විමසා බැලීය.

එම අවස්ථාවේදී ගුරුවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී, ශිෂ්ට හා වගකීමෙන් යුතු සමාජයක් ගොඩනැගීමට ගුරුවරුන් දක්වන දායකත්වය රජය ඉතාමත් අගය කරන බව ඇය සඳහන් කළාය. ගුරුවරුන්ගේ වෘත්තීය භාවය ආරක්ෂා කරමින් ගුණාත්මක අධ්‍යාපන ප්‍රමිතීන් තහවුරු කිරීම සඳහා අධ්‍යාපන කවුන්සිලයක් පිහිටුවීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද ඇය පැවසීය.

පාසල් අතර පවතින යටිතල පහසුකම්වල අසමානතාවය අවම කර සියලු දරුවන්ට සමාන අවස්ථා ලබාදීම රජයේ ප්‍රධාන අරමුණක් බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

අනතුරුව වීරකැටිය රජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයට පැමිණි ඇය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ආරම්භ කළ පළමු වසර පන්ති කාමර ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ අතර, දරුවන් සමඟ සුහද කථාබහකද නිරත වූවාය.

වීරකැටිය මධ්‍ය විද්‍යාලයේ ගුරුවරුන් සමඟ පැවැති හමුවකදී උසස් පෙළ පන්ති පවත්වාගෙන යාමේදී මුහුණදෙන ගැටලු පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන්ම උසස් පෙළ සිසුන් පාසල තුළ රඳවා ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

හම්බන්තොට ලුණම දුටුගැමුණු මහා විද්‍යාලයේද නිරීක්ෂණයකට එක් වූ අග්‍රාමාත්‍යවරිය, ඉහළ යටිතල පහසුකම් තිබියදීත් ශිෂ්‍ය සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බව සලකා බැලීය. නිසි සැලසුම් සහිත පරිපාලන ක්‍රමවේද හරහා ශිෂ්‍ය ගලනය වැඩි කළ යුතු බවද, ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී මෙවැනි සම්පූර්ණ පහසුකම් සහිත පාසල් ප්‍රයෝජනයට ගත හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

සංචාරය අතරතුර නයිගල රාජ මහා විහාරයටද පැමිණි අග්‍රාමාත්‍යවරිය, විහාරාධිපති අතිපූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට කටයුතු කළාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button