
අස්ගිරි හා මල්වතු නාහිමිවරුන් සමඟ බන්ධනාගාර ප්‍රධානීන් සාකච්ඡාවක
බන්ධනාගාර ප්‍රධානීන් සාකච්ඡාවක, අදාල සාකච්ඡාව අද (16) අස්ගිරි සහ මල්වතු මහා විහාරවලදී පැවැත්වුණු අතර, එහිදී සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස් කිරීම සහ භික්ෂූන් වහන්සේ රඳවා තැබීම සඳහා වෙනම ස්ථානයක් සකස් කිරීම පිළිබඳව අවධානය යොමුව තිබේ.
බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම් හා මාධ්‍ය) සේනක පල්ලේතැන්න මහතා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් පිරිසක් අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැකීමෙන් මෙම හමුව ආරම්භ වී ඇත.
එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවදුරටත් සිරගතව සිටීම පිළිබඳව අදහස් පළ කළ අස්ගිරි මහා නාහිමියෝ, උන්වහන්සේ නිදහස් කර ගැනීමට හැකියාවක් තිබේදැයි බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් විමසා තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ද බැහැදැක ඇත.
එම හමුවේදී අදහස් දැක්වූ මල්වතු මහා නාහිමියන් පෙන්වා දී ඇත්තේ විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කරන හෝ සිරගත කරන භික්ෂූන් වහන්සේ වෙනුවෙන් වෙනම රැඳවුම් ස්ථානයක් ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් මීට පෙර සාකච්ඡා පැවැත්වී තිබුණද, එම සාකච්ඡා අවසන් වී ඇත්තේ නිශ්චිත එකඟතාවයකට පැමිණීමකින් තොරව බව ද උන්වහන්සේ සඳහන් කර තිබේ.
භික්ෂූන් වහන්සේ සඳහා වෙනම ස්ථානයක් සකස් කර එහිදී ආගමික වතාවත් සිදුකිරීමට අවශ්‍ය නිදහස ලබාදීම මෙන්ම උන්වහන්සේලාට ගෞරවාන්විතව සැලකීම ද වැදගත් බව මල්වතු මහා නාහිමියෝ වැඩිදුරටත් අවධාරණය කර ඇත.



