
රුසියාවේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ශ්‍රී ලංකාවට
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවූ බලශක්ති අභියෝගයන්ට විකල්ප විසඳුම් සෙවීමේ උත්සාහයක් ලෙස රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ඇතුළු දූත පිරිසක් අද (26) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
මෙම සංචාරය සිදු වන්නේ ඛණිජතෙල් සැපයුම් සම්බන්ධ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් වන අතර, වර්තමාන ගෝලීය තත්ත්වය හමුවේ තෙල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නව මාර්ග සෙවීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව සඳහන් වේ.
මැදපෙරදිග යුද තත්ත්වයත් සමඟ විශේෂයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ගමනාගමනයට ඇතිවූ බාධා හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ තෙල් නෞකා කිහිපයක් ප්‍රමාද වූ බව වාර්තා වෙයි. ඒ අනුව, රට තුළ බලශක්ති අර්බුදයක් ඇතිවීමේ අවදානම හමුවේ තෙල් බෙදාහැරීම සීමා කිරීමේ ක්‍රමවේදයන් ද රජය විසින් ක්‍රියාත්මක කර ඇත.
මෙවැනි පසුබිමක, රුසියාවෙන් ඛණිජතෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම දූත පිරිසගේ සංචාරය සංවිධානය කර ඇති බව සඳහන්ය.
ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි මෙම පිරිස, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා විසින් පිළිගන්නා ලදී.
තවද, රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර අද දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ඉදිරියේදී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ශ්‍රී ලංකාවේ පවතින බලශක්ති අර්බුදය සඳහා දිගුකාලීන විසඳුම් පිළිබඳව එකඟතා සකස් කර ගැනීම ද මෙම සංචාරයේ ප්‍රධාන අරමුණක් ලෙස දැක්වේ.



