
ගැබ්ගෙල පිළිකා හඳුනාගැනීමට නව Colposcopy යන්ත්‍ර 18ක්
ගැබ්ගෙල පිළිකා ප්‍රතිකාර ශක්තිමත් කිරීමට නව කොල්පොස්කොපි යන්ත්‍ර රෝහල්වලට
මෙරට කාන්තාවන් අතර වැඩි වශයෙන් වාර්තා වන ගැබ්ගෙල පිළිකාව කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් අති නවීන කොල්පොස්කොපි (Colposcopy) යන්ත්‍ර 12ක් මේ වන විට රජයේ රෝහල් පද්ධතියට එක්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊට අමතරව, තවත් යන්ත්‍ර 6ක් ලබන මාසය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, එමඟින් රෝහල් පද්ධතිය තුළ කොල්පොස්කොපි යන්ත්‍ර සංඛ්‍යාව 33 දක්වා ඉහළ යනු ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් පමණ වන අතර දැනට ස්ථාපිත කර ඇති යන්ත්‍ර සඳහා රුපියල් මිලියන 72කට අධික මුදලක් වැය කර ඇති බවය.
අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, මාතර, මොනරාගල, පුත්තලම සහ හම්බන්තොට යන ප්‍රදේශවල ප්‍රධාන රෝහල්වල මේ වන විටත් මෙම යන්ත්‍ර ස්ථාපිත කර තිබේ.
එමෙන්ම ඉදිරියේදී අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වව්නියාව යන ශික්ෂණ හා දිස්ත්‍රික් මහ රෝහල් සඳහා නව යන්ත්‍ර 6ක් ලබාදීමටද නියමිතය. ඒ සඳහා රුපියල් මිලියන 42කට වැඩි මුදලක් වෙන්කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
කොල්පොස්කොපි යනු ගැබ්ගෙල හා යෝනි මාර්ගයේ අසාමාන්‍යතා සොයා බැලීම සඳහා භාවිත කරන විශේෂ වෛද්‍ය පරීක්ෂණ ක්රමවේදයකි. විශාලන තාක්ෂණය ඔස්සේ ගැබ්ගෙල පටක සවිස්තරාත්මකව නිරීක්ෂණය කළ හැකි බැවින් අසාමාන්‍ය සෛල හඳුනා ගැනීමට වෛද්‍යවරුන්ට මෙය විශාල සහායක් ලබාදෙයි.
ජාතික පිළිකා මර්දන වැඩසටහනට අනුව, ගැබ්ගෙල පිළිකාව පූර්ව අවධියේ හඳුනාගතහොත් වළක්වා ගත හැකි රෝගයකි. මානව පැපිලෝමා වයිරසය (HPV) මඟින් බෝවන මෙම රෝගය හේතුවෙන් වසරකට නව රෝගීන් 1,200ක් පමණ වාර්තා වන අතර, ප්‍රතිකාර ප්‍රමාද වීම හේතුවෙන් වසරකට පුද්ගලයින් 180ක් පමණ මියයන බවද දත්ත පෙන්වා දෙයි.



