ප්‍රධාන පුවත්

2026 ළමා දින ජාතික සතියට කැබිනට් අනුමැතිය

ළමා දින ජාතික සතිය ලෙස සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා කාලය ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, 2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා කාලය ‘ළමා දින ජාතික සතිය – 2026’ ලෙස නම් කරමින් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම ඔක්තෝබර් 01 වැනිදා ළමා දිනය සමරනු ලබන්නේ දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යහපැවැත්ම සම්බන්ධයෙන් සමාජ අවධානය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණෙනි.

වර්තමානයේ දරුවන් මුහුණ දෙන ගැටලු සාම්ප්‍රදායික ළමා ආරක්ෂණ ගැටලුවලට පමණක් සීමා නොවන බව නිරීක්ෂණය කර තිබේ. අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිත අවදානම්, මානසික හා සමාජයීය පීඩන, නොසලකා හැරීම මෙන්ම විවිධ සමාජ හා ආර්ථික අවදානම් ද ඒ අතරට ඇතුළත් වේ.

එමෙන්ම දරුවන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වන දෙමාපියන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන්, සේවා සපයන්නන් සහ පොදු මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන් ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවද හඳුනාගෙන ඇත.

ඒ අනුව, ළමා අයිතිවාසිකම් පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම, දරුවන් පිළිබඳ සමාජ සංවේදීතාව වර්ධනය කිරීම සහ ළමා ආරක්ෂාව සඳහා ප්‍රජා සහභාගිත්වය වැඩි කිරීම මෙම ජාතික සතියේ ප්‍රධාන අරමුණු ලෙස සැලසුම් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button