
සංචාරක ආදායම පහළට, විදෙස් ප්‍රේෂණ ඉහළට
සංචාරක ආදායම අඩුවෙයි, විදෙස් ප්‍රේෂණවල වර්ධනයක්
සංචාරක ආදායම පසුගිය වසරේ මුල් මාස 6ට සාපේක්ෂව මේ වසරේදී යම් පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.
මහ බැංකුව නිකුත් කළ දත්ත අනුව මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් මෙරටට ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,511.1ක් ලෙස සටහන් වී තිබේ.
කෙසේ වෙතත් පසුගිය වසරේ එම කාලසීමාවේදී සංචාරක ආදායම ලෙස ලැබී තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1,712.6ක් වන අතර ඒ අනුව මෙම වසරේදී අඩුවීමක් වාර්තා වී ඇත.
මේ අතර මැයි මාසයේදී සංචාරක ආදායම ඩොලර් මිලියන 155.7ක් ලෙස පැවති අතර ජුනි මාසයේදී එය ඩොලර් මිලියන 151.1ක් දක්වා පහත වැටී තිබේ.
පසුගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂවද මෙම වසරේ ජුනි මාසයේ සංචාරක ආදායමේ අඩුවීමක් දක්නට ලැබෙන අතර, එම මාසයේදී පසුගිය වසරේ ලැබූ ආදායම ඩොලර් මිලියන 169.5ක් ලෙස වාර්තා වී තිබුණි.
කෙසේ වෙතත්, විදෙස් ප්‍රේෂණ ආදායම සැලකීමේදී පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කර ඇත.
මැයි මාසයේදී විදෙස් ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 847ක් ලැබී තිබුණද ජුනි මාසයේදී එය ඩොලර් මිලියන 695ක් දක්වා අඩුවී තිබේ.
ඒ අනුව මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී විදෙස් ප්‍රේෂණ ආදායම ඩොලර් මිලියන 152කින් පහළ ගොස් ඇත.
එහෙත් මෙම වසරේ මුල් මාස 6 සැලකීමේදී විදෙස් ප්‍රේෂණ ලැබීම් පසුගිය වසරට වඩා ඉහළ මට්ටමක පවතී.
පසුගිය වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ විදෙස් ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 3,738ක් ලැබී ඇති අතර, මෙම වසරේ එම කාලය තුළ ලැබී ඇති මුදල ඩොලර් මිලියන 4,604.8ක් බව මහ බැංකු දත්ත සඳහන් කරයි.
ඒ අනුව වසරකට පෙර කාලසීමාවට සාපේක්ෂව විදෙස් ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 866.8කින් ඉහළ ගොස් තිබේ.



