ක්‍රීඩා

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ආබාධ හේතුවෙන් දැඩි පීඩනයක

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුවාහිදී ආරම්භ වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ආබාධ ගැටලු රැසක් මධ්‍යයේ තරගයට මුහුණ දීමට සූදානම් වෙයි.

කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ආබාධවලට ලක්ව සිටීම හේතුවෙන් අවසන් සංචිතය තෝරා ගැනීමේදී තේරීම් විකල්ප දැඩි ලෙස සීමා වී ඇති අතර, ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණක් තේරීමට සුදුසු තත්ත්වයේ සිටින බව වාර්තා වේ.

වේගපන්දු යවන්නන් වන ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් තවදුරටත් ක්‍රීඩා කිරීමට නොහැකි තත්ත්වයක පසුවෙති. ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ආබාධයකට ලක්ව ඇති බැවින්, ඔහු වෙනුවට ළහිරු උදාර කණ්ඩායමට එක්වීමට නියමිත බව සඳහන්ය.

මේ අතර රමේෂ් මෙන්ඩිස් බැක්ටීරියා ආසාදනයකට ගොදුරුවීම හේතුවෙන් දෙවන ටෙස්ට් තරගය අහිමි වන අතර, කසුන් රාජිතගේ සහභාගිත්වය ද අවිනිශ්චිත මට්ටමක පවතී. ඒ අනුව ඉසිත් විජේසුන්දරට ටෙස්ට් වරම් හිමිවීමේ වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත්, විශේෂඥ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙම තරගයට එක්වනු ඇති බව ද තොරතුරු සඳහන් කරයි.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ඉනිමකින් සහ ලකුණු 217ක දැවැන්ත පරාජයක් ලැබූ අතර, එම පරාජයෙන් යළි නැගී සිටීමේ අරමුණින් දෙවන ටෙස්ට් තරගයට පිවිසෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button