ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා ආර්ථිකය 4.2%කින් වර්ධනය වෙයි

ශ්‍රී ලංකා ආර්ථිකය 2026 වසරේ දෙවන කාර්තුවේදී සියයට 4.2ක ධනාත්මක වර්ධනයක් අත්කරගෙන තිබේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම ජාතික ගිණුම් ඇස්තමේන්තුවලට අනුව, අප්‍රේල් 1 සිට ජූනි 30 දක්වා කාලය තුළ මෙම වර්ධනය වාර්තා වී ඇත.

කෙසේ වෙතත්, වසරේ පළමු කාර්තුවේදී සියයට 5.1ක වර්ධනයක් වාර්තා වී තිබූ බැවින්, දෙවන කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් දක්වා අඩු වී තිබේ.

දෙවන කාර්තුවේදී කර්මාන්ත අංශය සියයට 7.3කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශයේ වර්ධනය සියයට 2.7ක් ලෙස සටහන් වී ඇත. එම කාලය තුළ කෘෂිකාර්මික අංශය සියයට 2.3ක පසුබෑමකට ලක්ව තිබේ.

කර්මාන්ත අංශයේ වර්ධනයට පතල් හා කැණීම් කටයුතු, ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙන්ම විදුලි හා බලශක්ති සැපයුම් ක්ෂේත්‍රයේ වර්ධනය ද ප්‍රධාන වශයෙන් දායක වී ඇත.

සේවා අංශය තුළ තොරතුරු තාක්ෂණ සේවා සියයට 10කින්, රක්ෂණ සේවා සියයට 8කින් සහ මූල්‍ය සේවා සියයට 7.7කින් වර්ධනය වී තිබේ.

මේ අතර, කෘෂිකාර්මික අංශයේ පසුබෑමට මිරිදිය ධීවර කටයුතුවල සහ වී වගාවේ සිදුවූ අඩුවීම් ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

2026 වසරේ දෙවන කාර්තුවේදී පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 8,254,176ක් ලෙස වාර්තා වී ඇති අතර, එය පෙර කාලයට සාපේක්ෂව සියයට 11.3ක වර්ධනයක් බව සඳහන් වේ.

මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය සහ බොරතෙල් සැපයුම සම්බන්ධ අවිනිශ්චිතතාව හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ යම් මන්දගාමීත්වයක් පැවතියද, ආනයන පරිමාව ඉහළ යාම හේතුවෙන් දේශීය නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමට හැකිවීම සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාප්තිය ආර්ථික වර්ධනයට ධනාත්මක බලපෑමක් එල්ල කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button