
ශ්‍රී ලංකාවේ “Walk for Peace” සාම පාගමනේ ගමන් මග සහ විශේෂ වැඩසටහන්
අද (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවට පැමිණි “Walk for Peace Program in Sri Lanka” සාම පාගමනට නායකත්වය දෙන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේලා, පස්වරු 3.00ට අනුරාධපුරයේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි.
එම අවස්ථාවේදී අටමස්ථානාධිපති හිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලා වෙත පූජා කිරීමට සැලසුම් කර ඇත.
ඉන් අනතුරුව, පස්වරු 4.00ට අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය අසල විශේෂ ආගමික වතාවත් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අප්‍රේල් 22 වන දින උදෑසන සංඝගත දක්ෂිණාවෙන් පසුව දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන මෙම සාම පාගමන, නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර සහ කැලණිය හරහා ගමන් කරමින් අප්‍රේල් 28 වන දින කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.
මෙම ගමනට ලොව පුරා ආදරයට පත් “ආලෝකා” (Aloka) නමැති සුනඛයාද එක්ව සිටීම විශේෂත්වයකි.
සාම පාගමන අවසන් කිරීමේ අවස්ථාවේදී, ගෙන ආ ශ්‍රී මහා බෝධී අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අතින් අමෙරිකාවේ සිට පැමිණි මහා සංඝරත්නය වෙත පූජා කිරීමට නියමිතය.
ඉන් අනතුරුව, ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පෙරහැරක් ලෙස කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවනු ලබන අතර, එහිදී ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන “We are the Design” වැඩසටහන ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ.
මෙම සාම පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රජයේ හා පෞද්ගලික ආයතන රැසක පූර්ණ අනුග්‍රහය යටතේ සංවිධානය කර ඇත.



