උණුසුම් පුවත්

යෝෂිත රාජපක්ෂගේ නඩුව ඔක්තෝබර් 28 දක්වා කල්යයි

 

යෝෂිත රාජපක්ෂ මහතාට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් 28 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

2006 වසරේදී නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයෙකු ලෙස බඳවා ගැනීම සහ පවතින පටිපාටියෙන් බැහැරව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට සහභාගි කරවීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබේ. ඒ සඳහා රජයේ මුදල් වැය කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී ඇත.

අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කළේ තමන් ඉල්ලා සිටි ලේඛනවලින් කොටසක් පමණක් මේ වන විට ලැබී ඇති බවත්, ඉතිරි ලේඛන පැමිණිල්ල විසින් ලබාදී නොමැති බවත්ය.

ඒ අනුව, විත්තිය ඉල්ලා ඇති ලේඛන පවතින්නේ නම් ඒවා ලබාදීමට කටයුතු කරන ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන් විනිසුරුවරයා, නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඔක්තෝබර් 28 වැනිදා යළි කැඳවන ලෙස නියෝග කළේය.

යෝෂිත රාජපක්ෂ මහතා සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අදාළ චෝදනා සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසම විසිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button