
දිට්වා හානි කළ මාර්ග යළි හදන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 110ක්
දිට්වා හානි කළ මාර්ග යළි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 110ක මූල්‍ය පහසුකමක් අනුමත කර තිබේ.
මෙම මුදල් ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ අර්බුද ප්‍රතිචාර වැඩසටහන යටතේ ලබාදීමට නියමිත අතර, දිට්වා සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවූ කිලෝමීටර් 600ක පමණ මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා එය යොදා ගැනීමට නියමිතය.
විශේෂයෙන් සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ ජනතාවට වෙළෙඳපොළ, පාසල් සහ සෞඛ්‍ය සේවා වෙත යළි පහසුවෙන් ළඟාවීමට හැකිවන පරිදි මාර්ග සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන බව ලෝක බැංකුව සඳහන් කරයි.
ප්‍රතිසංස්කරණය කරන මාර්ග දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන ප්‍රමිතීන්ට අනුව සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. වැඩිදියුණු කළ ජලාපවහන පද්ධති, නායයෑම් වැළැක්වීමේ ක්‍රම සහ නව ඉංජිනේරු තාක්ෂණික ක්රමවේදද ඊට ඇතුළත් වේ.
නව මූල්‍ය පහසුකම හරහා දැනට ක්‍රියාත්මක Inclusive Connectivity and Development ව්‍යාපෘතිය තවත් වසර තුනකින් දීර්ඝ කිරීමටද නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රවාහන සම්බන්ධතා සඳහා ලෝක බැංකුව සිදුකරන සමස්ත ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 610ක් දක්වා ඉහළ යනු ඇත.
මෙම ආයෝජනයෙන් පුද්ගලයින් 830,000කට අධික පිරිසකට සෘජු ප්රතිලාභ හිමිවන අතර, දිස්ත්‍රික්ක 8ක මිලියන 2කට ආසන්න ජනතාවකට එහි ප්රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මාර්ග ප්‍රතිසංස්කරණ හා නඩත්තු කටයුතු හරහා රැකියා සහ වැඩිදියුණු කළ රැකියා අවස්ථා 5,671ක් පමණ නිර්මාණය කිරීමටද සැලසුම් කර තිබේ.
තේ, එළවළු සහ වී වගාවේ නිරත ගොවීන් 22,000කට ආසන්න පිරිසකට ගැනුම්කරුවන් සහ සැපයුම් දාම සමඟ නැවත සම්බන්ධ වීමටද මෙම ව්‍යාපෘතිය මගින් අවස්ථාව සැලසෙනු ඇත.
2025 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක පමණ හානියක් සිදුව ඇති අතර, දිස්ත්‍රික්ක 25 පුරා මිලියන 2කට ආසන්න ජනතාවක් එම ආපදාවෙන් බලපෑමට ලක්වී තිබේ.
එහිදී ප්‍රවාහන ක්ෂේත්රයට සිදුවූ හානිය අමෙරිකානු ඩොලර් මිලියන 973ක් පමණ ලෙස ඇස්තමේන්තු කර ඇත. ඊට පළාත් මාර්ග කිලෝමීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක්, ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 3,500කට වැඩි ප්‍රමාණයක් සහ පාලම් 700කට ආසන්න සංඛ්‍යාවක් ඇතුළත්ය.
ප්‍රවාහන ක්ෂේත්රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මුළු මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.31ක් පමණ බවට ඇස්තමේන්තු කර තිබේ.



