
පිරිමි දරුවන් 16න් පසු පාසල් අධ්‍යාපනයෙන් ඉවතට
වර්තමානයේ පාසල් තුළ දරුවන් රඳවා ගැනීම අභියෝගයක් වී ඇති අතර, විශේෂයෙන් පිරිමි දරුවන් අවුරුදු 16න් පසු පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී ‘ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත’ දෙවන වර කියවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
නව අධ්‍යාපන සංශෝධන යටතේ ලබන වසරේ සිට 2 සහ 6 ශ්‍රේණි සඳහා නිර්දේශිත නව විෂය මාලාව ක්‍රියාත්මක කිරීමට නියමිත බවද ඇය පැවසුවාය.
එමෙන්ම සියලුම පෙරපාසල් සඳහා පොදු විෂය මාලාවක් සකස් කර ඇති අතර, එය ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. ඒ සඳහා අවශ්‍ය ගුරු පුහුණුව සහ අනෙකුත් කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබේ.
පාසල් සිසුන් ප්‍රවාහනයේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත්, ඒ සඳහා ඉදිරියේදී නියාමනයක් සිදු කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය.
එම නියාමනය යටතේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන රථවාහන සඳහා අවම පහසුකම් සැපයීම අනිවාර්ය කිරීමට නියමිත අතර, විශේෂයෙන් ආසන පටි සහ ආරක්ෂක කැමරා සවිකිරීම අනිවාර්ය කිරීමට නියමිත බවද ඇය පැවසුවාය.
මේ අතර, පාසල් දරුවන්ගේ මානසික නිදහස සම්බන්ධයෙන් දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.
විශේෂයෙන්ම පාසල් නිවාඩු සමය තුළ දරුවන්ට එම නිවාඩුව නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබාදෙන ලෙසද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් ඉල්ලා සිටියාය.



