
මුදල් කමිටු වාර්තාවෙන් වගකිවයුත්තන් සඟවන බවට චෝදනා
මහ බැංකුව හා භාණ්ඩාගාරය සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනාත්මක මුදල් ගෙවීමකට අදාළව නිකුත් කළ පාර්ලිමේන්තු මුදල් කාරක සභා වාර්තාව සම්බන්ධයෙන් ෆ්රී ලෝයර්ස් සංවිධානය දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
එම සංවිධානය පෙන්වා දෙන්නේ පිටු 8කින් සමන්විත වාර්තාව මඟින් සිද්ධියට අදාළ ඉහළ පෙළේ නිලධාරීන් ආරක්ෂා කරමින්, වගකීම් පහළ මට්ටමේ නිලධාරීන් සහ පරිගණක පද්ධති වෙත යොමු කිරීමට උත්සාහ කර ඇති බවය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ මුදල් කාරක සභාවට හිමි වගකීම් නිසි ලෙස ඉටු නොකර, කරුණු සටහන් කිරීමකට පමණක් මෙම වාර්තාව සීමා වී ඇති බවද ඔවුන් සඳහන් කරයි.
වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට ලේඛන සකස් කර ගැනීමට සහ වගකීම් වළක්වා ගැනීමට අමතර කාලයක් ලබාදී ඇති බවටද ෆ්රී ලෝයර්ස් සංවිධානය චෝදනා කරයි.
දින 30කට වැඩි කාලයක් ගතවී තිබියදීත් මහ බැංකු පාලන අධිකාරිය නිහඬව සිටීම ගැටලුකාරී බව සඳහන් කරන එම සංවිධානය, මහ බැංකුවේ ප්රතිරූපය රැකගැනීම සඳහා කමිටුව කටයුතු කර ඇති බවද කියා සිටී.
මහා භාණ්ඩාගාරය, විදේශ සම්පත් හා ණය කළමනාකරණ අංශ අතර සම්බන්ධීකරණ හිඟය සහ ස්වාධීන පරිගණක පද්ධති භාවිතය මෙම අර්බුදයට හේතු වූ බවද එහි දැක්වේ.
මුදල් රෙගුලාසි 135 යටතේ මුදල් බලය පැවරීමේදී ප්රධාන ගණන්දීමේ නිලධාරියා ලෙස කටයුතු කළ මුදල් ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්රමාණවත් අවධානයකින් කටයුතු කර නොමැති බවද සංවිධානය පවසයි.
එසේම, විශාල මුදල් ප්රමාණයක වගකීම එක් අධ්යක්ෂවරයෙකු වෙත පවරා තිබීම අයහපත් පරිපාලන ක්රියාවලියක් බවද ඔවුන් අවධාරණය කර ඇත.
අවසානයේ, සැබෑ වගකිවයුත්තන් සඟවා තැබීම සඳහා මුදල් කාරක සභාව සිය නිල අනුමැතිය ලබාදී ඇති බවට දැඩි කණස්සල්ල පළ කරන බව ෆ්රී ලෝයර්ස් සංවිධානය නිවේදනය කරයි.





