ප්‍රධාන පුවත්

වෛද්‍යාධාර අයදුම්පත් ප්‍රමාණය ඉහළට

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කර ඩිජිටල් ක්‍රමයට පත් කිරීමෙන් පසු වසරක් ඇතුළත වෛද්‍යාධාර සඳහා ලැබෙන අයදුම්පත් සංඛ්‍යාව සියයට 59කින් ඉහළ ගොස් ඇති බවය. 

එම අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, 2025 වසර තුළ ජනාධිපති අරමුදල වෙත වෛද්‍යාධාර අයදුම්පත් 5,277ක් ලැබී ඇති බවය. එය 2024 වසරේ ලැබුණු අයදුම්පත් 3,313ක් සහ 2023 වසරේ වාර්තා වූ අයදුම්පත් 3,456ක් සමඟ සසඳන විට කැපී පෙනෙන වර්ධනයක් බවද එම නිවේදනයේ දැක්වෙයි.

විමධ්‍යගත කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, 2024 වසරට වඩා 2025 වසරේදී අයදුම්පත් 1,964ක වැඩිවීමක් සිදුව ඇති බව සඳහන් වේ.

මේ අතර, ලැබුණු අයදුම්කරුවන් අතරින් සියයට 70කට අධික පිරිසකට මේ වන විට වෛද්‍යාධාර ලබාදීම අවසන් කර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

දිවයින පුරා පිහිටි සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජනාධිපති අරමුදලින් වෛද්‍යාධාර ලබාගැනීම සඳහා අයදුම්පත් භාරගැනීම දැනටමත් ක්‍රියාත්මක බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

2025 වසරේදී පළාත් මට්ටමින් අයදුම්පත් ලැබීමේ වර්ධනය ද කැපී පෙනෙන බව සඳහන් වන අතර, උතුරු පළාතේ අයදුම්පත් යොමු කිරීම සියයට 253කින් ඉහළ ගොස් ඇති අතර, නැගෙනහිර පළාතේ සියයට 135කින්, මධ්‍යම පළාතේ සියයට 116කින් සහ ඌව පළාතේ සියයට 108කින් අයදුම්පත් සංඛ්‍යාව වර්ධනය වී ඇත.

ජනාධිපති අරමුදල මගින් මහජනතාවට වෛද්‍යාධාර ලබාදීමේ සේවාව සඳහා අයදුම්පත් භාරගැනීම 2025 වසරේ පෙබරවාරි 07 වැනිදා සිට දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ආරම්භ කර ඇත.

මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම හේතුවෙන්, ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක අනෙකුත් සේවාවන්ද විමධ්‍යගත කිරීමට කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව, දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයේ දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබාදෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන්ට ලබාදෙන සහන දීමනා, ජාතික හෝ රට වෙනුවෙන් විශේෂ සේවය කළ පුද්ගලයින් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබාදෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක සියලු සේවාවන් සඳහා මාර්ගගතව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අයදුම් කිරීමේ හැකියාව මහජනතාවට හිමි වී ඇත.

එමඟින්, වසර 47ක කාලයක් පුරා කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සේවාවන්, මේ වනවිට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් ප්‍රතිලාභ අවශ්‍ය ජනතාවට පහසුවෙන් ලබාගත හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button