ප්‍රධාන පුවත්

විහාර මහාදේවී උද්‍යානයේ විරෝධතාවට අධිකරණ නියෝගයක්

විහාර මහාදේවී උද්‍යානයේ විරෝධතාවට අධිකරණ නියෝගයක්

විහාර මහාදේවී උද්‍යානයේ විරෝධතාවට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ පැවැත්වෙන විරෝධතාව සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

විරෝධතාවට අඛණ්ඩව සහභාගී වන පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලාට මෙන්ම සිවිල් ක්‍රියාකාරීන්ට සහ විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ද මෙම නියෝගය අදාළ වේ.

ඒ අනුව, විහාර මහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අසල පරිශ්‍රය සහ ඇවිදින මංතීරු අවහිර කිරීමෙන් වළකින ලෙස අධිකරණය නියෝග කර ඇත. එසේම එෆ්.ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්‍රීන් පාත් සහ මල් පාර ඇතුළු මාර්ග අවහිර නොකරන ලෙස ද දැනුම් දී තිබේ.

මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට සහ විහාර මහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අවට පරිශ්‍රයේ අඛණ්ඩව රැඳී සිටීමෙන් වළකින ලෙසත්, පොදු සහ පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසත් අධිකරණය නියෝග කර ඇත.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය යටතේ මෙම ආඥාව නිකුත් කර තිබේ. එහි 106(3) වගන්තිය අනුව අදාළ නියෝග ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය පවතී.

අධිකරණ නියෝගය කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද නියෝගයේ සඳහන් වේ.

විහාර මහාදේවී උද්‍යානයේ විරෝධතාවට අධිකරණ නියෝගයක්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button