ප්‍රධාන පුවත්

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහය අද තුන්වැනි දිනටත්

විහාරමහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහය අද (18) තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වන අතර, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් එහි අඛණ්ඩව රැඳී සිටිති.

 

පසුගිය 16 වැනිදා පස්වරුවේ ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය අතරතුර අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමේදී පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් ද හටගත්තේය. සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා අවධාරණය කරන්නේ ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.

 

එදින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා පසුව බුද්ධ ශාසන අමාත්‍යාංශය වෙත වැඩම කර අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක නිරත වූහ. එම සාකච්ඡාවෙන් අපේක්ෂිත විසඳුමක් නොලැබුණු බව පවසමින් ඉල්ලීම්වලට පිළිතුරු ලැබෙන තෙක් විහාරමහා දේවි උද්‍යානයේ රැඳී සිටීමට උන්වහන්සේලා තීරණය කර තිබේ.

 

මේ අතර, ඊයේ (17) රාත්‍රියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ පොලිසිය අතර නැවතත් උණුසුම් තත්ත්වයක් ඇති විය. එම අවස්ථාවේදී හදිසි රෝගී තත්ත්වයකට පත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සුවසැරිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

 

එහිදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් චෝදනා කළේ පොලිසිය විසින් කස්සප හිමියන්ට පහර දුන් බවයි. කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රික් වුට්ලර් මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ හිමියන් එම ස්ථානයේදී පය ලිස්සා වැටීම හේතුවෙන් රෝහල්ගත කළ බවයි.

 

රෝහල්ගත කිරීමෙන් පැයකට පමණ පසු කස්සප හිමියන් රෝහලෙන් පිටව ගොස් තිබේ. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේ තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය නොවන බව පවසමින් හිමියන් රෝහලෙන් පිටව ගිය බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button