
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ඇරඹේ
වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් නිල වශයෙන් ආරම්භ කරමින් වියට්නාම් එයාර්ලයින්ස් සමාගමට අයත් පළමු මංගල ගුවන් යානය ඊයේ (16) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
හෝ චි මින් නුවර සිට පැමිණි වී.එන්.-671 දරන එයාර්බස් ඒ.-320 වර්ගයේ ගුවන් යානය රාත්‍රී 11.02ට කටුනායකට ළඟා වී ඇති අතර, එය සාම්ප්‍රදායික ජල ආචාරයක් පවත්වමින් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කර ඇත.
පළමු ගුවන් ගමනෙන් මගීන් 164 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එම ගුවන් යානයෙන්ම මගීන් 172 දෙනෙකු යළි වියට්නාමය බලා පිටත්ව ගොස් තිබේ.
මෙම නව ඍජු ගුවන් සේවාව යටතේ සතියකට දින තුනක් ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව ඉරිදා, බදාදා සහ සිකුරාදා යන දිනවල කටුනායක සහ වියට්නාමය අතර ගුවන් ගමන් සිදු කෙරෙන අතර, එක් ගමන් වාරයක් සඳහා පැය 4යි විනාඩි 30ක පමණ කාලයක් ගත වේ.
නව ගුවන් සේවාව ආරම්භ කිරීම සනිටුහන් කරමින් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ උත්සවයක්ද පැවැත්වී ඇති අතර, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ත්‍රින් ති ටාම් මහත්මිය එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වී ඇත.



