ප්‍රධාන පුවත්

ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තැබේ

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සහ ශ්‍රී ලංකාව අතර ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වේ.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අද (09) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

එම හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී ඇත.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාට විශේෂ පිළිගැනීමක්

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රාජ්නාත් සිං මහතා පිළිගැනීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹදී විශේෂ උත්සවයක් සංවිධාන කර තිබුණි.

එම අවස්ථාවට මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ෂා මහතා ඇතුළු පිරිසක් මෙන්ම මෙරට වෙසෙන ඉන්දීය ජාතිකයින් රැසක් ද සහභාගී වී තිබේ.

ද්විපාර්ශ්වික සබඳතා ගැන මහ කොමසාරිස්වරයා කියයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ෂා මහතා සඳහන් කර ඇත්තේ, ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් බවයි.

“මෙය ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රථම ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සංචාරයයි. එම නිසා මෙම සංචාරය අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරනවා. මෑත වසරවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දක්නට ලැබුණු රාජ්‍යතාන්ත්‍රික හුවමාරු අතරට මෙම සංචාරය තවත් පරිච්ඡේදයක් එක් කරනවා. මෙම සංචාරයන් අපගේ සබඳතාවයට නව ජවයක් සහ ශක්තියක් ලබා දී ඇති බව කිව යුතුයි. එය අප අතර සබඳතා ඉතා ඉහළ තලයකට ඔසවා තිබෙනවා. ”

ඕනෑම අර්බුදයකදී ශ්‍රී ලංකාවට සහාය

ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන ඕනෑම අවස්ථාවකදී සහාය වීමට ඉන්දියාව සූදානම් බව ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ප්‍රකාශ කර තිබේ.

දෙරට අතර පවතින සමීප සංස්කෘතික සහ ශිෂ්ඨාචාර සබඳතා ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා ශක්තිමත් පදනමක් සපයන බවද ඔහු පෙන්වා දී ඇත.

“ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන ඕනෑම අවස්ථාවක ඔවුන්ට සහය වීමට ඉන්දියාව සූදානම්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සංස්කෘතික සහ ශිෂ්ඨාචාර සබඳතාව ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනයට ශක්තිමත් පදනමක් සපයනවා. ඉන්දු – ශ්‍රී ලංකා ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේදී ඉන්දීය ඩයස්පෝරාව ඉටුකරන කාර්යභාරය වැදගත්. ඔවුන් දෙරට අතර පාලමක් තනන පිරිසක් ලෙසයි මා දකින්නේ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button