
චමින්ද කුලරත්නගේ පර්යේෂණ පත්‍රිකාව මෙක්සිකෝ ජාත්‍යන්තර සමුළුවට
චමින්ද කුලරත්නගේ පර්යේෂණ පත්‍රිකාව මෙක්සිකෝවේ පැවති ජාත්‍යන්තර වැඩමුළුවකට ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සහ නීති සම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම පර්යේෂණය ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද කුලරත්න මහතා විසිනි.
‘දක්ෂිණ ගෝලීය රටවල පාර්ලිමේන්තු අභියෝග සහ පරිවර්තනයන්’ යන තේමාව යටතේ පැවති ‘UNAM–IPSA RC08’ ජාත්‍යන්තර වැඩමුළුවට ඒ මහතා සහභාගී වී තිබේ. ජාත්‍යන්තර දේශපාලන විද්‍යාර්ථීන්ගේ සංගමයේ ආරාධනය මත මෙක්සිකෝ ජාතික විශ්වවිද්‍යාලයේ පැවති මෙම වැඩමුළුවට ඔහු එක්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි පර්යේෂකයෙකු ලෙසය.
‘විධායකයේ ආධිපත්‍ය සහ ව්‍යවස්ථාදායක සීමාවන්: ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නීති සම්පාදනයේ පරිවර්තනය’ යන මැයෙන් සකස් කළ පර්යේෂණ පත්‍රිකාව පසුගිය 06 වැනිදා පැවති ‘නියෝජනය සහ විධායක බලය’ සැසියේදී ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තු නීති සම්පාදන ක්‍රියාවලියට විධායකයේ බලපෑම, ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වයට බලපාන ආයතනික සීමාවන් සහ පාර්ලිමේන්තු වගවීම ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙම පර්යේෂණයෙන් විමර්ශනය කර තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ ටෙන්සි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉරීනා ක්මෙල්කෝ, එක්සත් රාජධානියේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එමා කෘ සහ මෙක්සිකෝවේ UNAM විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙම්වීර්ග් පුවෙන්ට් මාර්ටිනෙස් ඇතුළු ජාත්‍යන්තර විද්වතුන් ද මෙම වැඩමුළුවට එක්ව සිටියහ.
ජාත්‍යන්තර විද්වතුන් සමඟ පර්යේෂණ ඉදිරිපත් කළ චමින්ද කුලරත්න මහතා එහි ආරාධිත දේශකයෙකු ලෙස ද සහභාගී වී ඇති අතර, ජාත්‍යන්තර දේශපාලන විද්‍යාර්ථීන්ගේ සංගමයේ සාමාජිකත්වය ද ඔහුට පිරිනමා තිබේ.
මේ අතර, මෙක්සිකෝ සංචාරයේදී එරට කොංග්‍රසයේ මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් සභාව යන ආයතන දෙකෙහිම නියෝජිතයන් හමුවීමට ද ඒ මහතාට අවස්ථාව හිමිව ඇත.
පසුගිය 07 වැනිදා මෙක්සිකෝ කොංග්‍රසයේ දෙවන මණ්ඩලයේ සංචාරයක නිරත වූ කුලරත්න මහතා එහි නියෝජ්‍ය නායක අල්ෆොන්සෝ රමිරෙස් සහ මහලේකම් හියුගෝ රෝසාස් ඇතුළු ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නියෝජිතයන් හා නිලධාරීන් හමුවී තිබේ.
එම අවස්ථාවේදී ජාත්‍යන්තර විද්වත් නියෝජිත පිරිසට මෙක්සිකෝ පාර්ලිමේන්තුවෙන් විශේෂ පිළිගැනීමක් ද හිමිව ඇත. පාර්ලිමේන්තු රැස්වීමක් පැවැත්වෙමින් තිබියදී නියෝජිත පිරිස සභා ගර්භයට කැඳවා නිල වශයෙන් පිළිගැනීමට එරට කොංග්‍රසයේ සභාපතිවරයා කටයුතු කර තිබේ.
එහිදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ නියෝජිතයන් සමඟ නීති සම්පාදනය, පාර්ලිමේන්තු පරිපාලනය සහ ප්රජාතන්ත්රවාදී පාලනය පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව සැලසී ඇත.
විදේශීය රටක පාර්ලිමේන්තු සභාවාරයක් අතරතුර සභා ගර්භයට කැඳවා මෙවැනි නිල පිළිගැනීමක් ලැබීම ශ්‍රී ලාංකිකයෙකු ලෙස තමන් ලැබූ සුවිශේෂී අවස්ථාවක් බව චමින්ද කුලරත්න මහතා සඳහන් කර ඇත.
තවද, පසුගිය 08 වැනිදා මෙක්සිකෝ කොංග්‍රසයේ ඉහළ මණ්ඩලය වන සෙනෙට් සභාවේ සංචාරයකට ද ඒ මහතා එක්ව තිබේ. එහිදී පාර්ලිමේන්තු මහලේකම් ආචාර්ය අර්තුරෝ ගාරිටා මහතා හමුවී පාර්ලිමේන්තු පරිපාලනය, නීති සම්පාදන ක්‍රියාපටිපාටිය සහ සංසන්දනාත්මක පාර්ලිමේන්තු භාවිතයන් පිළිබඳ සාකච්ඡා කර ඇත.



