
රිදී විහාරය ඉලක්ක කර මසකට විදේශීය සංචාරකයන් 5,000ක් ගෙන්වීමේ සැලසුමක්
රිදී විහාරය ඉලක්ක කර මසකට විදේශීය සංචාරකයන් 5,000ක් පමණ මෙරටට ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සහ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රිදී විහාරයේ විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත නායක හිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය රිදීගම වනරතන හිමිපාණන් වහන්සේ ද වැඩම කර සිටියහ. ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් සහ සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ පෞද්ගලික ආයතන නියෝජිතයෝ ද එක්ව සිටියහ.
**රිදී විහාරය ජාත්‍යන්තර සංචාරක ගමනාන්තයක් කිරීමේ සැලසුම**
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික රිදී විහාරය විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
විහාරස්ථානයේ පෞරාණික හා ඓතිහාසික වටිනාකම් ආරක්ෂා කරගනිමින් එය ජාත්‍යන්තර බෞද්ධ සහ අධ්‍යාත්මික සුවතා සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇත.
යෝග සහ භාවනා වැඩසටහන් ඇතුළු විවිධ අධ්‍යාත්මික ක්‍රියාකාරකම් සංවිධානය කිරීම ඔස්සේ රිදී විහාරය ජාත්‍යන්තර අවධානය දිනාගත් ස්ථානයක් බවට පත් කළ හැකි බවද සාකච්ඡාවේදී අවධාරණය කර තිබේ.
**පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම**
විහාරස්ථානය සහ ඒ අවට පරිසරය කාබන් විමෝචනයෙන් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත.
ඒ අනුව රථවාහන ධාවනය, අවන්හල් පවත්වාගෙන යාම සහ අනෙකුත් සංචාරක පහසුකම් පරිසර හිතකාමී ආකාරයෙන් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන් දැනුවත් කිරීම සහ අවශ්‍ය පුහුණුව ලබාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමු වී ඇත.
එමෙන්ම රිදී විහාරය සහ ඒ අවට පිහිටි සංචාරක ස්ථාන වෙත පහසුවෙන් ළඟාවීමට හැකි වන පරිදි මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය විධිමත් සැලැස්මක් යටතේ සිදු කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡා කර තිබේ.
මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන, නාගරික සංවර්ධන අධිකාරිය, වයඹ පළාත් සංචාරක සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කළ යුතු බවද මෙහිදී අවධාරණය කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන පරිදි, මෙම ව්‍යාපෘතිය මඟින් මෙරට සංචාරක ක්ෂේත්රය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත් ඉදිරි සංචාරක ඉලක්ක සපුරා ගැනීමටත් සැලකිය යුතු දායකත්වයක් අපේක්ෂා කෙරේ.



