ප්‍රධාන පුවත්

විදුලිබල ප්‍රතිපත්තිය සහ විදුලි ගාස්තු ප්‍රතිපත්තිය හෙට කැබිනට් මණ්ඩලයට?

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අදාළ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය සම්බන්ධ කැබිනට් යෝජනාව විෂය භාර අමාත්‍යවරයා විසින් හෙට (09) දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

 විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම අදියර පහකින් ක්‍රියාත්මක වන අතර එම අදියරවලින් හතරක් මේ වන විට සාර්ථකව නිම කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව මූලික පැවරුම් සැලැස්ම, වාර්ෂික විදුලි ප්‍රසම්පාදන සැලැස්ම, දිගුකාලීන ජනන සැලැස්ම සහ දිගුකාලීන සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්ම යන අදියර අවසන් කර ඇති බව විදුලිබල මණ්ඩල පරිවර්තන කාර්ය සාධක බලකායේ ප්‍රධානී පුබුදු නිරෝෂන් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

මෙම වැඩපිළිවෙළේ අවසන් අදියර ලෙස ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සහ ජාතික විදුලි ගාස්තු ප්‍රතිපත්තිය සකස් කිරීම සිදුකරමින් පැවති අතර, එය හෙට දිනයේදී කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අදාළ කැබිනට් පත්‍රිකාව සම්මත වීමෙන් අනතුරුව විදුලි බල මණ්ඩලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැසට් පත්‍රිකාවක් නිකුත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා පියවර ගැනීමට නියමිතව ඇත.

එම ගැසට් පත්‍රිකාව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ 1969 අංක 17 දරන විදුලි බල පනත අහෝසි වනු ඇති බව ද වාර්තා වේ.

ඒත් සමග පෙබරවාරි මාසය අවසන් වීමට පෙර ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් ඈවර කරන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන් වේ.

මේ අතර රජය ගත් ප්‍රතිව්‍යුහගත කිරීමේ තීරණයට අනුව විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට වෙන් කර ඇති අතර, එම සමාගම් සඳහා මේ වන විට පාලනාධිකාරීන් ද පත් කර තිබේ. එම හේතුවෙන් එම සමාගම්වලට අනුයුක්ත කර ඇති විදුලි බල මණ්ඩල සේවකයින් ඉදිරි පියවර සම්බන්ධයෙන් පාලනාධිකාරීන් සමග සාකච්ඡා කිරීමට සූදානම් වන බව ද වාර්තා වේ.

තවද නිකුත් කිරීමට නියමිත මෙම ගැසට් නිවේදනය මගින් දැනට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ සේවකයින්ගේ ගැටලුවටද විසඳුමක් ලැබෙනු ඇති බව සඳහන් වේ.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය අනුව ඔවුන්ට සේවයෙන් විශ්‍රාම ගැනීමේ පහසුකම් සැලසෙන අතර, ස්වේච්ඡා විශ්‍රාම යෑම සඳහා ඉල්ලුම් කළ පුද්ගලයින්ට වන්දි ගෙවීමේ කටයුතු ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

විදුලි බල මණ්ඩලයේ සේවකයින් 2,173 දෙනෙකු ස්වේච්ඡා විශ්‍රාම යෑමට ඉල්ලුම් කර තිබුණද, අදාළ විශ්‍රාම දිනය ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් නොවීම හේතුවෙන් එම සේවකයින් දැඩි අර්බුදයකට මුහුණ දී සිටි බව වාර්තා විය.

මේ සම්බන්ධයෙන් එම සේවකයින් අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා, බලශක්ති අමාත්‍යවරයා සහ මහනායක හිමිවරුන් වෙත ලිපි යොමු කරමින් කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබිණි.

කෙසේ වෙතත් පසුගියදා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා විසින්, ස්වේච්ඡා විශ්‍රාමය සඳහා ඉල්ලුම් කළ සේවකයින්ට අවශ්‍ය නම් පසුගිය ජනවාරි 30 වැනිදාට පෙර එම ඉල්ලීම් ඉවත් කර ගැනීමට අවස්ථාව ලබා දී තිබුණි.

ඒ අනුව ස්වේච්ඡා විශ්‍රාම ඉල්ලුම් කළ සේවකයින් අතරින් 20කට අඩු ඉතා සුළු පිරිසක් පමණක් එම ඉල්ලීම් යළි කැඳවා ගැනීමට තීරණය කර ඇති බව වාර්තා විය.

ඉතිරි සේවකයින් 2,153 දෙනෙකුට ස්වේච්ඡා විශ්‍රාම යාම සඳහා අනුමැතිය හිමිව ඇති අතර, ඔවුන්ට හිමි වන්දි මුදල් ඉදිරියේදී ගෙවීමටද නියමිතව ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button