ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා–තුර්කි ගුවන් සේවා ගිවිසුම සංශෝධනයට අත්සන් තබයි

ශ්‍රී ලංකා–තුර්කි ගුවන් සේවා ගිවිසුම සංශෝධනය කරමින් දෙරට අතර ගුවන් ප්‍රවාහන සබඳතා සහ සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ නව පියවරක් ගෙන තිබේ.

ඒ අනුව, අදාළ ගිවිසුම සංශෝධනය කිරීමේ ලේඛනයට ඊයේ (27) තුර්කියේ අන්කාරා නුවරදී අත්සන් තබා ඇත. ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා ද, තුර්කිය වෙනුවෙන් ප්‍රවාහන හා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය එන්වර් ඉස්කර්ට් මහතා ද ඊට අත්සන් තැබූහ.

මෙම ගිවිසුම් සංශෝධනයත් සමඟ දෙරට අතර ගුවන් සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමඟින් සංචාරක කර්මාන්තය, වෙළෙඳාම සහ ආයෝජන ක්ෂේත්‍රවල වර්ධනයට මෙන්ම ශ්‍රී ලංකාවේ සහ තුර්කියේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට ද නව අවස්ථා උදාවනු ඇත.

සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරමින් දෙරට අතර පවතින හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට රජයන් දෙකම දක්වන කැපවීම මෙම පියවරෙන් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

එමෙන්ම, මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා තුර්කි රජය ලබාදෙන සහයෝගය සහ දක්වන කැපවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය ද පළ කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button