
වාහන 316,000ක් ආනයනය කරලා – රේගු ආදායමත් ඉහළට
2026 වසරේ ජුනි 30 වනදා වන විට මෙරටට වාහන 316,000ක් ආනයනය කර ඇති බව පාර්ලිමේන්තුවේ ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.
ශ්රී ලංකා රේගුවේ ආදායම් සහ අනෙකුත් කටයුතු සමාලෝචනය කිරීම සඳහා එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් විසින් මේ සම්බන්ධ දත්ත ඉදිරිපත් කර ඇත.
එම දත්තවලට අනුව, 2026 ජූනි 30 වනදා දක්වා වාහන ආනයනයෙන් රුපියල් මිලියන 512,547ක බදු ආදායමක් රජයට ලැබී තිබේ.
ඉන් වැඩිම බදු ආදායමක් වන රුපියල් මිලියන 386,726ක් මෝටර් රථ ආනයනයෙන් උපයා ඇති බවද නිලධාරීහු පෙන්වා දී ඇත.
මේ අතර, 2026 ජුනි 30 වනදා දක්වා අපේක්ෂිත රේගු ආදායම රුපියල් මිලියන 1,060,559ක් වුවද, එම කාලය තුළ රුපියල් මිලියන 1,379,084ක ආදායමක් උපයා ඇති බව අනාවරණය වී තිබේ.
එය අපේක්ෂිත ආදායමට සාපේක්ෂව සියයට 130ක ප්රගතියක් බවද කාරක සභාවේදී සඳහන් විය. 2025 වසරට සාපේක්ෂව 2026 වසරේ සෑම මාසයකදීම රේගු ආදායම් ඉහළ මට්ටමක පැවති බවටද දත්ත ඉදිරිපත් කර ඇත.
වැඩිම රේගු ආදායමක් ලබාදුන් භාණ්ඩ අතර පළමු ස්ථානය එන්ජින් ධාරිතාව 1000ccට අඩු පෙට්රල් මෝටර් රථ සඳහා හිමිව ඇති අතර, එමගින් රුපියල් බිලියන 137.4ක ආදායමක් ලැබී තිබේ. එය සමස්ත ආදායමෙන් සියයට 9.96ක් බවද අනාවරණය විය.
මීට අමතරව, ආනයනික බහාලුම් ප්රමාණය සහ ඒවා පරීක්ෂා කිරීමේ ක්රමවේද, රේගු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම, ආදායම් පරිපාලනයේ පවතින අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳවද කාරක සභාවේදී අවධානය යොමුකර තිබේ.



