ප්‍රධාන පුවත්

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට 24 වෘත්තීය ක්‍රියාමාර්ගයක

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය හෙට (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන බව කියන අනීතික ක්‍රියාවලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක බී.එච්. මිගස්දෙනිය මහතාට ලබාදී ඇති ස්ථාන මාරුවට විරෝධය පළ කරමින් මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව එම සංගමය සඳහන් කරයි.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ දක්වා කිසිදු විසඳුමක් ලබාදී නොමැති බවද සංගමය පවසයි.

ඒ අනුව, සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයට අනුව හෙට සිට දිවයින පුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබාදෙන සියලුම ආකාරයේ දත්ත හා වාර්තා සැපයීම අත්හිටුවීමට නියමිතය.

එමෙන්ම සියලුම දත්ත පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතුද අත්හිටුවීමට සංගමය තීරණය කර තිබේ.

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටින්නේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අදාළ කාලසීමාව තුළ ලබා නොදෙන කිසිදු දත්තයක් පසුව දත්ත පද්ධති වෙත නැවත යාවත්කාලීන නොකරන බවය.

බී.එච්. මිගස්දෙනිය මහතාගේ ස්ථාන මාරුව වහාම අවලංගු කර ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙසද සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර, කොළඹ වරාය සෞඛ්‍ය කාර්යාලයේ සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා අනුමත කර ඇති සේවක සංඛ්‍යාව අඩු කිරීමට ගෙන යන උත්සාහයටද තමන් දැඩි විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ වැඩබලන සභාපතිවරයා සහ ලේකම්වරයා සඳහන් කරති.

කෙසේ වෙතත්, අදාළ කරුණු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පූර්ණ සහය ලබාදීමටත්, ඕනෑම අවස්ථාවක බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමටත් සූදානම් බව එම සංගමය වැඩිදුරටත් දැනුම් දී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button