ප්‍රධාන පුවත්

ව්‍යාජ අත්සනකින් සේවකයන් 11කට පඩි ගෙවූ බවට චෝදනා

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිත කර සේවකයන් 11 දෙනෙකුට වැටුප් ගෙවා ඇති බවට චෝදනාවක් එල්ල වී තිබේ.

අල්ලස් හා දූෂණ විමර්ශන ඒකකය මගින් සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් තමන් බන්ධනාගාරගතව සිටි කාලසීමාව තුළ මෙම ගෙවීම් සිදුකර ඇති බව සභාපතිවරයා පවසයි. එමඟින් රුපියල් 625,000කට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවා ඇති බවද ඔහු සඳහන් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය අපරාධ විමර්ශන අංශයට සහ සහකාර පළාත් පාලන කොමසාරිස්වරියට අද (02) ලිඛිත පැමිණිල්ලක් භාරදීමෙන් අනතුරුව සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ, වැටුප් ගෙවීම සඳහා භාවිත කර ඇති ලේඛනයක අප්‍රේල් 7 වැනි දිනට අදාළව තම අත්සනක් ව්‍යාජ ලෙස යොදා ඇති බවයි. එමෙන්ම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව අදාළ නිලධාරීන්ගේ අත්සන් හා අනුමැතියෙන් පසුව තම අත්සන යෙදිය යුතු වුවද, මෙහිදී එම ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවද ඔහු පවසා ඇත.

තමන් ප්‍රාදේශීය සභාවේ රාජකාරිවල නොසිටි කාලයකදී යොදා ඇති එම අත්සන කිසිසේත් තමන්ගේ නොවන බව අවධාරණය කරන සභාපතිවරයා, ව්‍යාජ අත්සන් භාවිත කර කූඨ ලේඛන සකස් කර ඇති බවටද සැක පළ කරයි.

සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර කඩිනමින් ගන්නා ලෙස තමන් පොලීසියෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button