ප්‍රධාන පුවත්

වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදීමේ අවසන් දිනය ජූලි 7 දක්වා දීර්ඝයි

තාක්ෂණික දෝෂ හේතුවෙන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ලියාපදිංචි වීම සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ කාලය ජූලි 07 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කර තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, එම දීර්ඝ කළ කාලය තුළ ප්‍රකාශ ඉදිරිපත් කරන අයගෙන් දඩ මුදලක් අය නොකරන බවයි.

මීට පෙර 2023 මාර්තු 31 දිනට අදාළ වාර්ෂික සහ පශ්චාත් විශ්‍රාම වත්කම් හා බැරකම් ප්‍රකාශ ජූනි 30 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතු බවට දැනුම් දී තිබුණි. කෙසේ වෙතත්, අගෝස්තු 31 දක්වා ප්‍රකාශ භාරදීමට අවස්ථාව තිබුණද, එම කාලය තුළ භාරදෙන ප්‍රකාශ සඳහා දඩ මුදලක් අදාළ වන බව කොමිෂන් සභාව නැවතත් අවධාරණය කර ඇත.

පසුගිය ජූනි 28 වැනිදා සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට එක් දිනක් තුළ විශාල පරිශීලක පිරිසක් පිවිසීම හේතුවෙන් පද්ධතියේ තදබදයක් ඇතිවූ බවත්, ඒ නිසා බොහෝ පරිශීලකයන්ට තාක්ෂණික ගැටලුවලට මුහුණ දීමට සිදුවූ බවත් එම නිවේදනයේ සඳහන් වේ.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අනුව වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු සියලු දෙනා එය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් සිදු කළ යුතු බවද සිහිපත් කර ඇත.

පද්ධතිය භාවිතයේදී මතුවන ගැටලු සඳහා 076 70 11 954 සහ 011 25 87 287 යන දුරකථන අංක ඔස්සේ වත්කම් හා බැරකම් ප්‍රකාශ අංශය සම්බන්ධ කර ගන්නා ලෙසද කොමිෂන් සභාව දැනුම් දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button