
2027 අයවැය යෝජනා අද ජනපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
2027 අයවැය යෝජනා අද ජනපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි
2027 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
2027 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසු විවාදය සහ ඡන්ද විමසීම් පැවැත්වෙන දින
ඒ අනුව අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහිදී ජනාධිපතිවරයා විසින් 2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකිරීමට නියමිතය.
මෙම විසර්ජන පනත් කෙටුම්පතේ පළමු වර කියවීම පසුගිය ඔක්තෝබර් 07 වැනිදා සිදුකර තිබුණි. එදින කම්කරු අමාත්‍යවරයා මෙන්ම මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට (13) ආරම්භ වන අතර, එය නොවැම්බර් 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. එදින පස්වරු 6.00ට දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත.
අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතේ තෙවන වර කියවීමට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. එහි අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
මේ අතර, රජයේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවලට අනුව මේ වසරේ පළමු මාස නවය තුළ රජයේ ආදායම් සහ ප්‍රදාන සියයට 20කින් වර්ධනය වී තිබේ.
2025 වසරේ මුල් මාස නවය තුළ රුපියල් බිලියන 441.4ක අයවැය හිඟයක් වාර්තා වී තිබුණද, මේ වසරේ එම කාලසීමාව සඳහා රුපියල් බිලියන 22.3ක අයවැය අතිරික්තයක් වාර්තා වී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
රාජ්‍ය මූල්‍ය කාර්ය සාධන වාර්තාවට අනුව මේ වසරේ මුල් මාස නවය තුළ රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 4,594.9ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම කාලසීමාව තුළ බදු ආදායම සියයට 19කින් වර්ධනය වී ඇති අතර, බදු නොවන ආදායම සියයට 30කින් ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.



