
නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාල 10ක් විගණනයට
නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල තුල සිදුව ඇතැයි පැවසෙන මුදල් අක්රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විගණන කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.
නුවරඑළිය දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව 2023 වසරේ සිට 2026 වසර දක්වා කාලය තුළ නුවරඑළිය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල 10ක සිදු වූ ගනුදෙනු සහ මුදල් වියදම් සම්බන්ධයෙන් මෙම විගණනය සිදු කිරීමට නියමිතය.
විශේෂයෙන් නෝර්වුඩ් සහ තලවකැලේ ප්රාදේශීය ලේකම් කාර්යාල ආශ්රිතව අස්වැසුම ප්රතිලාභීන්ගේ මුදල් සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන වංචා පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන් වේ.
මීට අමතරව දිට්වා සුළිකුණාටුවෙන් බලපෑමට ලක් වූ ජනතාව සඳහා ලබාදුන් ආපදා සහනාධාර මුදල් නිසි පරිදි ගෙවා තිබේද යන්න පිළිබඳවද විගණනයේදී සොයා බැලීමට නියමිතය.
කොරෝනා වසංගත සමයේ අඩු ආදායම්ලාභීන් සඳහා සමෘද්ධි වැඩසටහන හරහා ලබාදුන් රුපියල් 5,000 දීමනාව මෙන්ම සමෘද්ධිලාභීන් සඳහා රජය ලබාදෙන සහනාධාර සහ වැඩිහිටි දීමනා නිසි ලෙස ප්රතිලාභීන් වෙත ලැබී තිබේද යන්නද විමර්ශනයට ලක් කිරීමට නියමිතව තිබේ.
විගණන කටයුතු ආරම්භ කිරීමට පෙර මේ සම්බන්ධයෙන් තමන් සතුව තොරතුරු ඇත්නම් ඒවා ලබාදෙන ලෙසද මංජුල සුරවීරආරච්චි මහතා ප්රතිලාභීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.



