සෞඛ්‍යය

ඩෙංගු රෝගීන් 92,011ක් දක්වා ඉහළට – මරණ 68යි

මෙරටින් මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු රෝගය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

ඩෙංගු රෝගීන් අතරින් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 48,725කි. එය සමස්ත රෝගීන්ගෙන් 52.96%කි. දකුණු පළාතෙන් රෝගීන් 13,533ක්, මධ්‍යම පළාතෙන් 8,274ක් සහ සබරගමුව පළාතෙන් 7,558ක් වාර්තා වී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 19,631කි. කොළඹින් 18,245ක්, මහනුවරින් 6,613ක්, මාතරින් 6,036ක්, කළුතරින් 5,951ක්, ගාල්ලෙන් 5,039ක් සහ රත්නපුරයෙන් 4,935ක් වාර්තා වී තිබේ.

කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3,700ක් වාර්තා වී ඇත.

මෙම වසරේ මාසිකව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,968කි. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ මැයි මාසයේදී 8,590ක් වාර්තා වී තිබේ. අගෝස්තු මාසයේ පළමු දින 15 තුළ පමණක් රෝගීන් 6,671ක් වාර්තා වී ඇත.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසත්, උණ ඇතුළු රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාදයකින් තොරව සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button