ප්‍රධාන පුවත්

ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයෙන් පසු නිරාවරණය කෙරේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කර ඇති විශේෂ කුටියට ඉහළින් ඉදිකර තිබෙන ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අද (20) පෙරවරුවේ සුබ මොහොතින් නිරාවරණය කර තිබේ.

ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන කැරට් 24 රන් පියළි යොදා අලුත්වැඩියා කරයි

දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින විශේෂ කුටියට සෙවණ සපයන මෙම රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය විශ්ව පාරමි පදනමේ මූලිකත්වයෙන් 2025 වසරේදී ආරම්භ කර ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ අභ්‍යන්තරය හා ඉදිරිපස ප්‍රදේශය අලංකාර කිරීමේ අරමුණින් මෙන්ම දන්ත ධාතුන් වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන්ද මෙම රන් වියන ඉදිකර පූජා කරනු ලැබුවේ 1987 වසරේදීය. ඒ එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි.

රන් වියන නිර්මාණය කිරීම සහ ඊට අදාළ මූලික සැලසුම් සකස් කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් සිදුකර තිබේ. එම කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශීය ඉංජිනේරු කණ්ඩායම්වල සහායද ලබාගෙන ඇත.

ශ්‍රී දළදා මාලිගාවේ සුවිශේෂී අනන්‍යතාවක් ලෙස සැලකෙන මෙම රන් වියන වාස්තු විද්‍යාත්මක වටිනාකමකින් යුත් නිර්මාණයකි. එය නැරඹීම සඳහා මෙරට මෙන්ම විදේශීය බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේද විශේෂ අවධානයක් යොමුව තිබේ.

කෙසේ වෙතත්, කාලයත් සමඟ රන් වියනෙහි අතුරා තිබූ රන්පත් පියළි අවර්ණ වී ක්ෂය වීම හේතුවෙන් එහි පැවැති මුල් දිස්නය සහ අලංකාරය ක්‍රමයෙන් අඩුවී තිබුණි. මීට පෙරද 2002 සහ 2018 වසරවලදී මෙම රන් වියන ප්‍රතිසංස්කරණය කර ඇත.

මෙවර ප්‍රතිසංස්කරණ කටයුතු නවීන ඉංජිනේරු තාක්ෂණය යොදාගනිමින් සහ රන් කර්මාන්තය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වෘත්තිකයන්ගේ සහාය ඇතිව සිදුකර තිබේ. ඒ සඳහා මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක හිමිවරුන්ගේ අනුශාසනාද ලැබී ඇත.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මූලිකත්වයෙන් සිදුකළ මෙම ප්‍රතිසංස්කරණයට තායිලන්තයේ වට් මාර්ප් ජෑන් ආරාමයේ දායකත්වයද හිමිව තිබේ. මෙහිදී කැරට් 24 රන් පියළි යොදා ගනිමින් රන් වියන යළි අලංකාර කර තිබීම විශේෂත්වයකි.

රන් වියන නිරාවරණය කිරීමේ අවස්ථාවට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමිපාණන් වහන්සේ ඇතුළු මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හි මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

එම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු ආරාධිතයන් රැසක්ද සහභාගී වී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button