
මැදපෙරදිග අර්බුදය මැද ඉන්ධන ගබඩා කිරීම තහනම් – ගැලුම්/බාහිර බහාලුම්වලට නිකුත් කිරීම අත්හිටුවයි
මැදපෙරදිග කලාපයේ වර්තමාන අස්ථිර තත්ත්වය හේතුවෙන් ජනතාව අතර ඇතිව තිබෙන බිය මත ඇතැම් පාර්ශව ඉන්ධන අනිසි ලෙස ගබඩා කිරීමට උත්සාහ දරමින් සිටින බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව, දිවයිනට අවශ්‍ය ප්‍රමාණයේ ඉන්ධන සංචිත මේ වන විට පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ජනතාවට දැනුම් දී ඇත. එබැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසද ඔවුන් අවධාරණය කරයි.
එසේ වුවද, සංවිධානාත්මක ලෙස ගැලුම්, බෝතල් සහ වෙනත් බාහිර බහාලුම් භාවිත කරමින් ඉන්ධන රැස් කිරීම සිදුවන බවට නිරීක්ෂණය වී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා, ධීවර යාත්‍රා, කර්මාන්තශාලා, වැඩබිම්, කෘෂිකාර්මික හා ගෘහ කටයුතු සඳහා අවශ්‍ය අවස්ථා හැර, ගැලුම් හෝ වෙනත් බහාලුම්වලට ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමීමට සියලු ඉන්ධනහල් කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවද සඳහන් වේ.
අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කර පසුව වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත වන පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි. එමෙන්ම, ඉන්ධන හිඟයක් ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන අයටද නෛතික පියවර ගන්නා බව නිවේදනය කර ඇත.
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් රට තුළ කිසිදු හිඟ තත්ත්වයක් නොපවතින බැවින්, සාමාන්‍ය පරිදි ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.



