
විදුලි සේවකයින්ගේ ඉල්ලීම් 64ක් – 62කට එකඟ වූ බව NTNSP සභාපති හෙළිකරයි
විදුලි බල වෘත්තීය සමිති විසින් ඉල්ලීම් 64ක් ඉදිරිපත් කර තිබූ අතර එයින් 62කට එකඟතාවය ලබා දී ඇති බව NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා පවසයි.
ඔහු සඳහන් කළේ එම ඉල්ලීම් බහුතරයක්ම කලින් ලංකා විදුලිබල මණ්ඩලය යටතේ සේවකයින්ට හිමිව තිබූ වරප්‍රසාද එලෙසම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වූ ඉල්ලීම් බවයි.
ඒ අනුව මුල් සාකච්ඡාවේදීම අධ්යක්ෂ මණ්ඩලයට ලබාදිය හැකි ඉල්ලීම් 59ක් පිළිගත් බවත් ඉතිරි ඉල්ලීම් කිහිපය සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ලබා දීමට වෘත්තීය සමිති වෙත දැනුම් දුන් බවත් ඔහු පැවසීය.
ඒ අතරින් ඉතිරිව තිබූ ඉල්ලීම් 5ක් සම්බන්ධයෙන්ද පසුව සාකච්ඡා කර ඇත. එමගින් තවත් කරුණු කිහිපයක් පිළිගත් අතර මේ වනවිට ඉතිරිව ඇත්තේ වැටුප් වැඩි කිරීම සහ කැබිනට් තීරණයක් වෙනස් කිරීම සම්බන්ධ ඉල්ලීම් දෙකක් පමණක් බවද ඔහු පැවසීය.
වෘත්තීය සමිති විසින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබා දුන් ආකාරයටම ප්‍රසාද දීමනා ලබාදෙන ලෙසද ඉල්ලීම් කර තිබූ අතර කාර්යසාධන ක්‍රමයක් හඳුන්වා දෙන තෙක් එම ඉල්ලීමට එකඟතාවය ලබා දී ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම සේවකයින්ට වැටුපට අමතරව රුපියල් 11,000ක දීමනාවක් සහ ජීවන වියදම් දීමනාවද එකතු කර සාමාන්‍යයෙන් රුපියල් 17,000ක් පමණ ලබාදීමටද එකඟ වී ඇති බව ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් වෘත්තීය සමිති 40%ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලීම් කර ඇති අතර එය ක්‍රියාත්මක කළහොත් විදුලි බිල 100%කින් වැඩි කිරීමට සිදුවන බවද ඔහු අනාවරණය කළේය.
ඔහු පෙන්වා දුන්නේ 40%ක වැටුප් වැඩි කිරීමක් ලබාදීම මාසිකව රුපියල් බිලියන 1.8ක අමතර වියදමක් බවත් එය වාර්ෂිකව බිලියන 22ක් පමණ වන බවත්ය. 2025 දෙසැම්බර් 31 වනවිට ලංකා විදුලිබල මණ්ඩලය සතු පෞද්ගලික ගිණුමේ පාඩුව බිලියන 35ක් පමණ වන බවද ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් NTNSP පුද්ගලික සමාගමේ සභාපති නුසිත් කුමාරතුංග මහතා මෙසේ පැවසීය.
”ඇත්තටම අපි කම්පැනිය පටන් ගත්තේ ඊයේ. ඊයේ ඉඳලා අද වෙනකල් අපේ රාජකාරි කටයුත්තක් කරේ නැහැ. ඒක තමයි අපේ පටන් ගැන්ම… වෘත්තීය සමිතිවල ඉල්ලීම් කොටස් තුනක් තිබුණා. ඒක සාරාංශගත කරොත් එකක් තමයි විදුලිබල මණ්ඩලය වශයෙන් තිබියදී ලැබිච්ච වරප්‍රසාද අඩු වෙන්න බෑ කියන එක.. ඔවුන් කාරණා හැට හතරක් ඉල්ලුවා.ඒ හැට හතරෙන් බහුතරයක් තිබුණේ විදුලිබල මණ්ඩලය සතුව තිබුණු වරප්‍රසාද ඕන කියලා. ඒ හැට හතරෙන් මුල් සාකච්ඡාවේදී, අධ්යක්ෂ මණ්ඩලවලට දෙන්න පුළුවන් 59ක් අපි ලබාදුන්නා. පහක් ඉතුරුයි. ඒ පහෙන් තුනක් අපි කිව්වා එක අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන්නම් කියලා…
ඉතින් අපි කිව්වේ ඒකට විසඳුම් ලබාදෙන් පොඩි කාලයක් දෙන්න කියලා. ඒකත් අපි ප්‍රකාශ කරා. ඊට පස්සේ දැන් තව දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ දෙක මොකක්ද? සීයට හතලිහක පඩි වැඩි කිරීමක් ඉල්ලනවා. සියයට හතළිහක් කියන්නේ මාසෙකට ගත්තොත් බිලියන 1.8 වැඩිවීමක් වන බවත් එය අවුරුද්දකට බිලියන 22ක් විතර.. එතකොට 2025 දෙසැම්බර් 31 ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ගිණුමේ පාඩුව පමණක් බිලියන 35ක්.. එතකොට අපි විදුලිබල මණ්ඩලය, නැත්නම් කම්පැනි වගේ හිතනවා වගේම රටේ ජනතාව ගැන, මහජනතාව ගැන, ඉන්ඩස්ට්‍රීස් ගැනත් හිතන්න ඕන. මේ ටික එකතු කරොත් විදුලි බිල සීයට සීයකින් විතර වැඩි කරන්න වෙයි.
එතකොට අපි කිව්වා පොඩි සහන කාලයක් දෙන්න. මේවා කරගෙන යන්න එක සැරේට කරන්න බෑ කියලා.. මැදපෙරදිග යුද්ධ තියෙනවා… එනිත් එක වැටුප් විෂමතාවයක් තිබුණා සියයට විසිපහක. ඒ කියන්නේ 2024 අගෝස්තු ඉඳලා සීයට විසිපහක වැටුප් විෂමතාවයක් තිබුණා. ඒක විධායක ඉහළ නිලතලවල සියලු දෙනාම ලබාගත්තා. ඒක කරේ මෙහෙමයි.තීරණ ගන්න හැකියාවක් තියෙන ටික ඔක්කොම සීයට විසිපහ ගත්තා. පොඩි සේවකයෙක් තීරණවලට සම්බන්ධ වෙන්න බැරි සේවකයෙක් නම් වැඩි වුණේ සීයට හතයි, අටයි, දහයයි එහෙම. ඒ වරදත් හැදුවා. ඒක හැදුවේ දෙදාස් විසිපහේ ජනවාරි පළවෙනිදා ඉඳලා. එතකොට ඉහළ නිලධාරීන්ට ලැබෙන්න දෙයක් නෑ. ඒ විසිපහ අරගෙන ඉවරයි. දැන් ඒගොල්ලන් කියනවා කැබිනට් තීරණය වෙනස් කරලා සීයට විසි පහක් සියලු දෙනාටම ලබාදෙන 2024 ජනවාරි පළවෙනිදා ඉඳම් කියලා..එතකොට මම කිව්වා කැබිනට් තීරණයක් මට, අපිට අධ්‍යක්ෂවරුන්ට වෙනස් කරන්න බෑ. ඒක ජනාධිපතිතුමා හම්බවෙලා කියන්න කියලා..ඒකටත් අවස්ථාව ලබාදීලා තියෙනවා. එතකොට ඉල්ලීම් සියල්ල සම්පූර්ණයි. දැන් වෙලා තියෙන දේ අපිට හිතාගන්න බෑ මොන අරමුණකින් මේ වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියනවද කියලා.



