
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ආරක්ෂා කිරීමට කමිටුව රැස්වෙයි
බාහිර ආර්ථික බලපෑම් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සහ ජනතාවගේ සුභසාධනය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවන ලද ආර්ථික ආවේක්ෂණ කමිටුව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ යෝජනාවකට අනුව මෙම කමිටුව ස්ථාපිත කර ඇති අතර එහි සභාපති ලෙස මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කටයුතු කරයි. කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය හා ආර්ථික කටයුතු) රසල් අපොන්සු මහතා කටයුතු කරනු ලබයි.
මෙම කමිටුවට මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් සහ නිලධාරීන් රැසක් සාමාජිකයින් ලෙස එක්ව සිටියහ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකය අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති අතර එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කළ හැකි බලපෑම් පිළිබඳව මෙම රැස්වීමේදී විශේෂ අවධානය යොමු කර තිබේ.
විශේෂයෙන් ඉන්ධන ආනයනය, මැදපෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබෙන මුදල් ප්‍රේෂණ මෙන්ම එම කලාපය සමඟ ඇති වාණිජ හා ආයෝජන සම්බන්ධතා මත ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස රඳා පවතින බවද මෙහිදී සඳහන් විය.
එබැවින් බාහිර ආර්ථික කම්පනවලට නිරාවරණය වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් වෙළඳපොළ ස්ථාවරත්වය තහවුරු කිරීම සහ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගතයුතු කඩිනම් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම කමිටුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.



