ප්‍රධාන පුවත්

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සිදුකර ඇති පසුබිමක ඇතැම් වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වීම සාධාරණ නොවන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

රාජ්‍ය සේවයේ වැටුප් අවස්ථා තුනකදී ඉහළ නැංවීමට රජය කටයුතු කර ඇති බැවින්, මෙවැනි අවස්ථාවක වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීම සදාචාරාත්මක නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීම සඳහා සංවිධාන කළ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පළාත් මට්ටමින් පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ඊයේ (22) පැවැත්වුණි. ඒ සඳහා ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සේවායෝජකයන්, සේවකයන් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

මෙම වැඩසටහනේදී යෝජිත නව කම්කරු නීති සම්බන්ධයෙන් තම අදහස්, ගැටලු සහ යෝජනා ඉදිරිපත් කිරීමට සහභාගි වූ පාර්ශ්වයන්ට අවස්ථාව ලබාදී තිබිණි.

වර්තමාන ආර්ථික හා සමාජීය තත්ත්වයන්ට මෙන්ම ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවලටද ගැළපෙන පරිදි ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කම්කරු නීති සංශෝධනය කර නව නීති පද්ධතියක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.

ඒ වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇත.

සේවක අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කිරීම, සේවායෝජකයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගැනීම, යහපත් කාර්මික සබඳතා ඇති කිරීම සහ ජාත්‍යන්තර ශ්‍රම ප්‍රමිතීන්ට අනුකූල නීතිමය පසුබිමක් සකස් කිරීම මෙම ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණු වේ.

නව කම්කරු නීති සකස් කිරීමේදී අදාළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ අරමුණින් මෙම පළාත් මට්ටමේ වැඩසටහන් සංවිධාන කර තිබේ. ඒ අනුව ඔවුන්ට සිය අදහස් සෘජුවම අදාළ කමිටුව වෙත ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමිවේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button