
ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම ඉදිරියට ගෙන යාමට අවධානය
ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම තවදුරටත් ඉදිරියට ගෙන යමින් දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමුව තිබේ.
තායිලන්ත රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහාසාක් ෆුවාන්ග්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (23) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ.
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආර්ථික, වෙළෙඳ සහ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ අතර, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දින 30ක කාලයක් වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට අවස්ථාව ලබාදීම සඳහා පසුගිය නොවැම්බර් 22 වැනිදා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත. එමඟින් දෙරටේ ජනතාව අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය වනු ඇති බවට දෙපාර්ශ්වයම විශ්වාසය පළ කර තිබේ.
එමෙන්ම 2027 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත ‘එක්ස්පෝ ශ්‍රී ලංකා’ (Expo Sri Lanka) ප්‍රදර්ශනයට එක්ව මෙරට පවතින ආයෝජන අවස්ථා පිළිබඳව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරිය තායිලන්ත ආයෝජකයන්ට ආරාධනා කර ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දියන් සාගරයට සම්බන්ධ උපායමාර්ගික වරාය සහ සමුද්‍රීය පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් දෙරට අතර සමුද්‍රීය සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ. සංචාරක පැමිණීම් වැඩි කිරීම, කෘෂිකාර්මික ක්ෂේත්රයේ ආහාර සැකසුම් කටයුතු සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමද සාකච්ඡාවට ලක්වූ කරුණු අතර වේ.
තවද බිම්ස්ටෙක් (BIMSTEC) සංවිධානය ඔස්සේ කලාපීය සබඳතා ශක්තිමත් කිරීම සහ දෙරට අතර ශ්‍රම සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇත.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය තායිලන්ත රජය වෙත සිය ස්තුතිය සහ කෘතඥතාව පළ කර තිබේ.
මෙම හමුවට ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපෝන් (Paitoon Mahapannaporn) මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශවල උසස් නිලධාරීන් පිරිසක්ද සහභාගී වී තිබේ.


