
රවී – ශානි පත්කිරීම් ගැන කතෝලික සභාවෙන් පැහැදිලි කිරීමක්
රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර වත්මන් තනතුරුවලට පත්කිරීම සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් හෝ කතෝලික සභාව කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බව කොළඹ අගරදගුරු පදවිය පවසයි.
අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා අද (17) මේ බව ප්‍රකාශ කළේය.
“ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මේ තනතුරුවලට පත් කරන්න කියලා කාදිනල් හිමිපාණන්වත් කතෝලික සභාවවත් කිසි දවසක ප්‍රකාශ කරලා නැහැ.”
එමෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන හා නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ සිරිල් ගාමිණි පියතුමා මෙසේද සඳහන් කළේය.
“ඊබ්‍රහීම් ට ඇප දුන්නේ අධිකරණය. ඇප දුන්නා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ ඔහුව නිදොස් කොට නිදහස් කළා කියලා. ඒ නඩුව තාම යනවා. ඒ වගේම ඔය කියන දේපොළ ඊබ්‍රහීම් නානාගේ දේපොළ නෙමෙයි. මේ දේපොළ ඊබ්‍රහීම් නානාගේ සහෝදරයෙකුගේ දේපොළ. ඒ නිසා ඒක අධිකරණයෙන් තමයි ඉල්ලීම කළේ ඒ දේපොළ නිදහස් කරන්න කියලා. එතකොට අධිකරණය තමයි නිදහස් කළේ.”
“අත්අඩංගුවට ගන්න එපා කියලා ගෝඨාභය මහත්තයා අධිකරණයට පෙත්සමක් භාරදීපු එක ඔහුගේ අයිතියක්. තීන්දුව ලැබෙනකම් අපිට බලන් ඉන්න වෙනවා.”
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සත්‍ය අනාවරණය කිරීමේ උත්සාහයට බාධා කිරීමේ අරමුණින් ඇතැම් පාර්ශ්ව අසත්‍ය ප්‍රචාර පතුරුවන බවද ඔහු චෝදනා කළේය.
“අසත්‍ය ප්‍රචාර සහ විවිධ මඩගැසීම්..මේ සියල්ලේම අරමුණ වෙලා තියෙන්නේ පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාරයේ සත්‍ය හෙළිදරව් කරගනිමින් සැබෑ අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒම සඳහා සිදුකෙරෙමින් පවතින විමර්ශනවලට බාධා කරමින් ඒවා කඩාකප්පල් කිරීමේ දුෂ්ට අරමුණින් බව හොඳින්ම පේන්න තියෙන කාරණයක්.”
තවද, සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන සත්‍යතාවයෙන් තොර ප්‍රකාශයන් සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බවද ඔහු අවධාරණය කළේය.
“එමනිසා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන කිසිම පදනමකින් තොර අසත්‍ය ප්රකාශයන්ට නොරැවටෙන ලෙස අපි මේ රටේ බුද්ධිමත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”



