
ධීවර හා නාවික කටයුතු නවත්වන්නැයි අනතුරු ඇඟවීමක්
ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව සඳහා මෙම දැනුම්දීම සිදුකර ඇත.
ධීවර හා නාවික කටයුතු සඳහා බෙංගාල බොක්කේ අවදානම් කලාප නම් කෙරේ
ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නිරත නොවන ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම ප්‍රදේශවල දැනටමත් රැඳී සිටින පිරිස් ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා කරන ලෙස ද උපදෙස් ලබා දී තිබේ.
ඉදිරියේදී නිකුත් කරන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී ඇත.
උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ. එම පද්ධතිය අද (25) නැගෙනහිර-මධ්‍යම බෙංගාල බොක්ක සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදු ප්‍රදේශ හරහා ගමන් කරමින් ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව සඳහන් වේ.
තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරන එම පද්ධතිය ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් 27 වැනිදා උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් බවටත් වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ අනාවැකියේ දැක්වේ.
මේ අතර, දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30–40ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50–60 දක්වා ඉහළ යා හැකිය. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශ ද තරමක් රළු විය හැකි බව සඳහන් වේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0–2.5ක් පමණ උසට ඉහළ යා හැකි බව ද අනාවැකි පළ කර තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව පැයට කිලෝමීටර් 60–70ක පමණ තද සුළං ඇති විය හැකි අතර, එම අවස්ථාවලදී මුහුද ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.



