ප්‍රධාන පුවත්

රජයට දුන් කාලය අවසන් වූ පසු සර්වජන බලයෙන් අවුරුදු නැකැත් සීට්ටුව සකස් කරයි

රජය විසින් රාජ්‍ය නැකැත් කමිටුව නැවත පිහිටුවීමට කඩිනම් පියවර නොගන්නේ නම් තම පක්ෂයේ මැදිහත්වීමෙන් ජනතාවට අවුරුදු නැකැත් සීට්ටුවක් සකස් කරදෙන බවට පෙර ලබාදුන් පොරොන්දුවකට අනුව සර්වජන බලය අද (14) ඒ සඳහා පියවර ගෙන තිබේ.

රජයට ලබාදුන් කාලය මේ වනවිට ඉක්මවා ඇති බව පෙන්වා දී, සියලුදෙනාට එකඟ විය හැකි නැකැත් සීට්ටුවක් සකස් කරදෙන ලෙස ඉල්ලමින් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිසක් පැපිලියානේ පිහිටි සුනේත්‍රා මහාදේවි පිරිවෙන් රාජමහා විහාරයට ගොස් පරිවේණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් හමුවිය.

ඒ අනුව උන්වහන්සේගේ ආරාධනය මත ජ්‍යෝතිර්වේදීන් 17 දෙනෙකු අද සුනේත්‍රා මහාදේවි පිරිවෙනට රැස්ව සාකච්ඡා පැවැත්වීය. එහිදී සියලුදෙනාට එකඟ විය හැකි අයුරින් අවුරුදු නැකැත් සීට්ටුවක් සකස් කිරීමට පියවර ගෙන තිබේ. පසුව එම නැකැත් සීට්ටුව ජ්‍යෝතිර්වේදීන්ගේ එකඟතාවයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර 2024 වසරේදී සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය නැකැත් කමිටුව විසුරුවා හැර තිබූ අතර මේ දක්වා එය නැවත පත් කිරීමට රජය කටයුතු කර නොමැති බව සඳහන් වේ.

එමෙන්ම මෙවර අවුරුදු නැකැත් ප්‍රකාශයට පත් කර ඇත්තේ පෝය කමිටුවේ සාමාජිකයන් විසින් බව සඳහන් කරමින් ජ්‍යෝතිර්වේදීන් පිරිසක් පසුගිය අඟහරුවාදා (10) රජයට සිය අප්‍රසාදය ද පළ කර තිබුණි.

තවද ජ්‍යෝතිර්වේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු බුද්ධශාසන අමාත්‍යාංශයට ගොස් රාජ්‍ය නැකැත් කමිටුව වහා සක්‍රීය කරන ලෙස ඉල්ලීමක් ද ඉදිරිපත් කර තිබුණි.

මෙවැනි පසුබිමක් මධ්‍යයේ සර්වජන බලය මැදිහත්වී ජනතාව සඳහා අවුරුදු නැකැත් සීට්ටුවක් සකස් කිරීමට කටයුතු කළ බව සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button