
රු. 2.27 කෝටි වාහන වංචා චෝදනාවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අතිරේක ලේකම්වරිය අත්අඩංගුවට
අති සුඛෝපභෝගී වාහනයක් සහනදායි මිලකට ලබාදෙන බව පවසා රුපියල් දෙකෝටි විසි හත් ලක්ෂයක මුදලක් වංචා කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අතිරේක ලේකම්වරියක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි නිලධාරිනියක වන අතර, කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු විසින් පසුගිය දෙසැම්බර් මාසයේදී සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මූලික විමර්ශන අනුව හෙළිවී ඇත්තේ, සැකකාරිය මීට මාස හතකට පමණ පෙර වරාය හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවය කරමින් සිටියදී, වරාය පරිශ්‍රයේ වෙන්දේසි සඳහා යොදාගන්නා වාහන සහනදායි මිලට ලබාදිය හැකි බව පවසා පැමිණිලිකාර වෛද්‍යවරයාගෙන් අදාළ මුදල ලබාගෙන ඇති බවයි.
කෙසේ වෙතත්, පසුව වාහනය හෝ ලබාගත් මුදල ආපසු ලබා නොදී සැකකාරිය මගහැර ගොස් ඇති අතර, එම හේතුව මත වෛද්‍යවරයා පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරිය අද (20) කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත, මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රාජිත වර්ණප්රියගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.



