ප්‍රධාන පුවත්

වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම ඇරඹේ

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් සිදුව ඇති වගා හානි පිළිබඳ තොරතුරු මේ වනවිටත් එක්රැස් කරමින් පවතින බවයි. ඒ අනුව තම වගා බිම් හානි වී ඇත්නම් අදාළ නිලධාරීන් වෙත තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙසද ගොවීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

“ඊයේ පෙරේදා වර්ෂාවක් ඇවිල්ලා යම් යම් වගාබිම් හානි වෙලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව අපි කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් සහ අනෙකුත් දෙපාර්තමේන්තු මගින් පණිවිඩ දීලා තියෙනවා සති දෙකක් ඇතුළත ඒ හානි වෙච්ච සියලුම වගාවන් වාර්තා කරන්න ඒ අනුව අපේ නිලධාරීන් ඊට අදාළ මැදිහත් වෙමින් සිටිනවා ඒ හානි වෙච්ච කුඹුරුවල ගොවීන්ගේ තොරතුරු ආවාට පස්සේ කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා ඒ ගොවි ජනතාවට කෙටි කාලයක් ඇතුළත වන්දි ලබා දීමේ කටයුතු අපි අවසන් කරනවා. ඒ නිසා ගොවි ජනතාවගෙනුත් අපි ඉල්ලා සිටිනවා තමන්ගේ වගාබිම් හානි වුණානම් අපේ නිලධාරීන් හරහා තමන්ගේ තොරතුරු ටික වහාම අපි වෙත ලැබෙන්න සලසන්න කියන එක.”

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි මහතාද ප්‍රකාශ කළේ, ලැබෙන තොරතුරු අනුව නිලධාරීන් හානි වූ වගාබිම් නිරීක්ෂණය කර, හානි ප්‍රමාණය අනුව කඩිනමින් වන්දි ගෙවීමට පියවර ගන්නා බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button