කාලගුණය

මුහුද රළු වීමක් – ධීවරයින්ට රතු නිවේදනයක්

මුහුද රළු වීම සහ තද සුළං ඇතිවීම සම්බන්ධයෙන් බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (22) උදෑසන 5.30 වන විට එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉදිරි පැය 12 තුළදී එම පද්ධතිය තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වීමට ඉඩ ඇති බව දැනුම්දී ඇත.

අනතුරුව එය උතුරු ආන්ද්‍ර ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, “Advisory” ලෙස හඳුනාගෙන ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 65ත් අතර දක්වා ඉහළ යා හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු තත්ත්වයට පත්විය හැකිය.

“Warning” කාණ්ඩයට අයත් මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි අතර, සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යාමත් සමඟ මුහුද ඉතා රළු විය හැකි බව දැනුම්දී තිබේ.

ඒ අනුව උතුරු අක්ෂාංශ 5ත් 22ත් අතර සහ නැගෙනහිර දේශාංශ 85ත් 100ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී ඇත.

දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින යාත්‍රා ඇත්නම්, හැකි ඉක්මනින් එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසද දැනුම්දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button