සෞඛ්‍යය

වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇති කිරීමේ උත්සාහයක් ගැන GMOA අනතුරු අඟවයි

වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇති කරමින් වෛද්‍ය සේවාව සහ නිදහස් සෞඛ්‍ය පද්ධතිය අර්බුදයකට රැගෙන යාමේ උත්සාහයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) චෝදනා කරයි.

විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය කාණ්ඩ අතර බෙදීමක් නිර්මාණය කිරීමේ දේශපාලන ක්‍රියාකාරකමක් මේ වනවිට මතුව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

රට තුළ පැවති ආර්ථික, සමාජ හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් රඳවා ගැනීම ගැටලුවක් වූ බව GMOA සඳහන් කරයි.

එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය වෘත්තීය සංගම් ඇතුළු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවද එම සංගමය පවසයි.

එහිදී සියලුම වෛද්‍ය කාණ්ඩ රට තුළ රඳවා ගැනීම සඳහා ‘ශ්‍රී ලංකා වෛද්‍ය සේවය’ නමින් නව සේවා කාණ්ඩයක් සහ වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීමට එකඟතාවකට පැමිණි බවද GMOA සඳහන් කළේය.

ඒ අනුව 2026 අයවැය තෙවනවර කියවීමේදී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කරන බවට සහතික වී තිබූ බවද එම සංගමය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් වෙනම සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව GMOA පවසයි.

එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමෙන් වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම සංගමය අවධාරණය කරයි.

එක් වෛද්‍ය කාණ්ඩයක් සඳහා පමණක් වෙනම සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමෙන් නිදහස් සෞඛ්‍ය සේවාවට සහ රෝගී සත්කාර සේවාවට සිදුවිය හැකි බලපෑම සලකා එම යෝජනාවට තම සංගමය එකඟ නොවන බවද GMOA සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තම වාචික සහ ලිඛිත අදහස් අදාළ කමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවත්, කමිටු වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදී අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණද මෙතෙක් එය ලබාදී නොමැති බවත් එම සංගමය පවසයි.

ඒ හේතුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සුදුසු තීරණ ගැනීම සඳහා GMOA පළාත් සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්ගේ හදිසි රැස්වීමක් පසුගිය 28 වැනිදා පවත්වා තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුකමිටුවේ හදිසි රැස්වීමක් හෙට (31) පැවැත්වීමට නියමිත බවද එම සංගමය සඳහන් කළේය.

මෙම රැස්වීමේදී වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇති නොවන පරිදි වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කරමින් එකමුතුවෙන් සේවය කළ හැකි ශ්‍රී ලංකා වෛද්‍ය සේවයක් බිහිකිරීම සඳහා ගත යුතු ඉදිරි තීරණාත්මක පියවර සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත බව GMOA වැඩිදුරටත් පවසයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button